Monday, November 13, 2017

අරක්කු බීපුවහම මොකද්ද වෙන්නෙ? මෙන්න නියම ඇත්ත....What Alcohol does to our body! the real truth....

අරක්කු බීපුවහම මොකද්ද වෙන්නෙ? මෙන්න නියම ඇත්ත....What Alcohol does to our body! the real truth....



පලවෙනි අරක්කු උගුර බීල තප්පර 30ක් වගේ කෙටි කාලයකින්, මදය්‍යසාර මොළයට ළඟාවෙනවා. එහෙම ආපු මධය්‍යසාර මොළයේ පණිවිඩ හුවමාරු කරන ක්‍රියාවලිය අවුල් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි; ඔයාගෙ මූඩ් එක වෙනස් කරන්නත්, ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය අඩාල කරන්නත්, ඔයාගෙ සිරුරේ සමබරතාවය නැති කරලා දාන්නත් මේ මද‍ය්‍යසාර වලට පුලුවන්. ඒ වගේම ඔයාගෙ දිගුකාලීන මතකය අවුල් කරන්නත් මේ මධය්‍යසාර ක්‍රියා කරනවා. අන්න ඒ නිසා තමයි බීපුවහම කරපු කියපු දේවල් වෙරි හිඳුනහම අපිට අමතක වෙන්නෙ.

ඔයා බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්නම් තත්වය බොහොම දරුණුයි.

මධය්‍යසාර දිගු කාලයක් තිස්සෙ මොළයට ගමන් කිරීම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වගේම මොළයේ ස්වරූපයත් වෙනස්විය හැකි බව මේ වන විට හොයාගෙන තිබෙනවා. ඇත්තටම මධය්‍යසාරවල බලපෑම නිසා මොළය සංකෝචනය වී ප්‍රමාණයෙන් කුඩාවන බව මේ වන විට හෙලි වී තිබෙනවා. මේ නිසා ඔබේ සිතීමේ හැකියාව, ඉගනගැනීමේ හැකියාව වගේම යමක් මතක තබා ගැනීමේ හැකියාවත් ඉතා දරුණුලෙසට පහත වැටෙනවා. ඒ විතරක් නෙවෙයි. සිරුරේ උෂ්ණත්වය පාලනය කරගැනීමේ හැකියාවත්, සිරුරේ චලනයන් පාලනය කර ගැනීමේ හැකියාවත් අහිමි වී යනවා.

අරක්කු නින්දට උදව් වෙනවාද?


අරක්කුවල තියෙන ඇල්කොහොල්වල බලපෑම නිසා ඔබට නිදිමත ගතියක් දැනේවි. ඉක්මනට නින්දට යාවි. නමුත් ඒක හොඳ නින්දක් හෝ සැප පහසු නින්දක් නම් නොවේවි. නරක-නපුරු හීන ඔබේ නින්දට බාදා කරාවි. ඒ වගේම කිහිප විටක් මුත්‍රා කරන්න අවදිවෙන්න සිදුවෙන්නත් පුලුවන්. කොටින්ම කියනවනම් මොළයට නින්ද මගින් ලබාදෙන හා ලබාදිය යුතු විවේකය නොලැබී යාවි. එනිසා සැප නින්දකින් පසු සිරුරට දැනෙන ප්‍රබෝධමත් ගතිය නොලැබී යාවි.

අරක්කු හා ඔබේ ආමාශය


ඇල්කොහොල් මගින් ඔබේ ආමශයට කරන බලපෑම නිසා වැඩිපුර ආමාශ යුෂ නිපදවෙන බව මතක තබා ගන්න. ආමාශයතුල වැඩියෙන් ආමාශයික යුෂ හා ඇල්කොහොල් එකතුවීම නිසා වමනය ඇතිවේ. දිගු කාලීනව මත්පැන් පානය කරන්නන්ට මීට අමතරව ඉතා දරුණුලෙස ආමාශයික තුවාල ඇතිවීමේ සම්භාවිතාවක් ඇත. එසේම අධික ලෙස ආමාශයික යුෂ ආමාශය තුලට එකතුවීම නිසා ආහාර අරුචිය ඇතිවේ. එය දිගු කාලීනව සිදුවීම විවිධ පෝෂණ ඌණතා තත්ව ඇති කරයි.

එසේම ඇල්කොහොල්වල බලපෑම නිසා අන්ත්‍ර තුලින් ආහාර ගමන් කිරීම වේගවත් වේ. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඩයරියා (diarrhea) තත්වය හෙවත් බුරුලට මළ පහවීම සිදුවන්නේ එනිසාය.

එසේම අම්ලපිත්තය (gastritis) ඇතිකිරීමද ඇල්කොහොල් මගින් සිදු කරයි.

ඇල්කොහොල් හා ඔබේ වකුගඩු


වකුගඩුවල ක්‍රියාකාරීත්වය පාලනය වන්නේ මොළයෙන් නිපදවන හෝමෝනයක් මගිනි. එම හෝමෝනය ශ්‍රාවය වීම වලකාලීම ඇල්කොහොල් වල තවත් දස්කමකි. එනිසා මුත්‍රා කිරීමේ වාරගණන ඉහල යයි. මෙමගින් ඔබේ සිරුර විජලනයට පත්විය හැක. එසේම කාලීන මත්පැන් පානය වකුගඩු අකර්මණ්‍යතාවයටද හේතුවකි.

සිරෝසිස් (cirrhosis)


මෙය ඇල්කොහොල්වල තවත් මහඟු දායාදයක් බව මතක තබා ගන්න. ඔබ පානය කරන මත්පැන්වල අඩංගු ඇල්කොහොල් බිඳ හෙලීම සිදුවන්නේ අක්මාව මගිනි. වැඩි වැඩියෙන් මත්පැන් පානය කිරීම නිසා අක්මාවට වැඩි වැඩියෙන් ඇල්කොහොල් බිඳ හෙලීමට සිදුවේ. මෙය අක්මාව වෙහෙසට පත්කරන ක්‍රියාවලියකි. එනිසා අක්මාවේ තන්තුමය පටක ඇතිවී, අක්මාවට රුධිර සැපයුම අඩාලවී, අක්මාව අකර්මණ්‍යවීම හා අක්මා සිරෝසියාව ඇතිවීම සිදුවේ.

අග්න්‍යාශය, මධය්‍යසාර හා දියවැඩියාව


ඉන්සියුලින් හා සමහර ආහාර ජීරක ශ්‍රාවයන් නිපදවීමට අග්න්‍යාශය වැදගත් වෙනවා. අග්න්‍යාශයේ මේ ක්‍රියාවලියට බාදා කරන්න මධය්‍යසාරවල අඩංගු ඇල්කොහොල් වලට පුලුවන්. ඒ වගේම ඇල්කොහොල්වල තියෙන සමහර විෂ රසායණවල බලපෑම නිසා අග්න්‍යාශය ප්‍රදාහයට පත් වෙනවා. මේක බොහොම බරපතල තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. එහෙම උනොත් අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය ඇනහිටීම නිසා ඔබේ ආහාරවල අඩංගු සීනි බිඳ හෙලීමට අවශ්‍යය ඉන්සියුලින් තවදුරටත් නිපදවන්න අග්න්‍යාශය අසමත් වෙනවා. ඒ කියන්නෙ ඔබව දියවැඩියා රෝගියෙකු බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි. අවසාන ප්‍රතිඵලය විදියට අග්න්‍යාශයට පිළිකා තත්වයක් ඇති කරන්න උනත් ඇල්කොහොල් සමතෙක් බව මතක තබා ගන්න.

මොකක්ද මේ hangover කියන්නෙ?


මේක ඉංග්‍රීසි වචනයක්. මේකෙන් කියවෙන්නෙ අරක්කු බීවට පස්සෙ අපිට වෙන විපරියාස ටිකේ එකතුව. ඔලුව කකියනවා, ඈනුම් යනවා, නිදිමත එනවා.. තව තව දේවල් ගොඩක් සිද්ද වෙනව. මේකට හෙතුව තමා ඇල්කොහොල් මගින් ඔබව විජලනයට පත් කිරීම හා ඔබේ රුධිර නාල හා මොළය ප්‍රසාරණය කිරීම. ඊට අමතරව ඔබේ ආමාශයේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවෙන වමනය තත්වයත් මේ තත්වයට හෙතු වෙනවා. අක්මාව ඇල්කොහොල් විනාශ කිරීමට කටයුතු කරමින් ඉන්න නිසා සිරුරට අවශ්‍ය තරම් සීනි මුදා හරින්න අක්මාවට නොහැකි වෙනවා. එතකොටත් ඇඟට පණ නැති මහ කම්මැලි ගතියක් ඇතිවෙනවා. මේ ඔක්කොම ලක්ෂණ එකතුව ගත්තහම අපි ඒකට Hangover කියන කෙටි යෙදුම පාවිච්චි කරනවා. මේ නමින්ම බොහොම ප්‍රකට හොලිවුඩ් චිත්‍රපටි මාලාවක් තියෙනව. මෙකෙනුත් කියවෙන්නෙ බීල, බීල අවසිහියට පත් වෙච්චහම මිනිස්සු කොච්චරනම් පිස්සො වෙනවද කියන එක ගැන.

අරක්කු සහ ඔබේ හදවත


මත්පැන්වල අඩංගු ඇල්කොහොල්වලට හදවතේ රිද්මය බිඳ හෙලන්න හැකියාව තියනවා. කාලීනව පත්පැන් පානය කිරීම මගින් මේ තත්වය ස්ථිර තත්වයක් බවට පත් කරනවා. එසේම හදවතේ ගෙවීයම වේගවත්කර, හදවත රෝගීකරන්නත් ඇල්කොහොල් කටයුතු කරනවා.

එසේම, රුධිරනාල විස්තාරණය කරන්නත් ඇල්කොහොල් කටයුතු කරනවා. එවිට රුධිර ගමනාගමනය වැඩි වී, ශරීර උෂ්ණත්වය ඉහල යාම සිදුවෙනවා. මේ තත්වය දිගින් දිගටම පවතිනවිට රුධිර පීඩනය වැඩිවීම නිසා, එම පීඩනය අවම කිරීමට ඔබේ සිරුර මගින් ආතති හෝමෝන නිදහස් කර රුධිර පීඩනය අවම කිරීම සඳහා රුධිර නාල සංකෝචනය කරාවි. එවිට එම රුධිරනාල හරහා රුධිරය පොම්ප කිරීමට වැඩි වැඩියෙන් වෙහෙස වීමට ඔබේ හදවතට සිදු වේවි.

ප්‍රතිශක්තීකරණ පද්දතිය


ඇල්කොහොල් ප්‍රතිශක්තීකරණ පද්දතියටත් අහිතකර බලපෑම් ඇති කරනවා. ඇල්කොහොල්වල බලපෑම නිසා සුදුරුධිරාණු නිපදවීම අඩාල වෙනවා. එනිසා විශබීජ සමග සටන් කිරීමේ හැකියාව අවම වීම නිසා පහසුවෙන් රෝගවලට ගොදුරු වීමේ අවධානමක් තිබෙනවා. කාලීනව මත්පැන් පානය කරන්නන්  නිව්මෝනීයාව හා ක්ෂයරෝගය වැනි රෝග වලට පහසු ගොදුරු වන්නේ මෙන්න මේ හේතුව නිසාබව හෙලි වී තිබෙනවා.

 හෝමෝන හා ඇල්කොහොල්


සිරුරේ විවිධ ක්‍රියාවලීන් යාමනය කිරීමට වැදගත්වන හොමෝන අහිතකර අයුරින් පාලනය කිරීමටත් ඇල්කොහොල්වලට හැකියාව තිබෙනවා. මෙනිසා කාන්තාවන්ගේ නම් ඔපස් චක්‍රයේ විවිධ වෙනස්කම්, දරුඵල ප්‍රමාධවීම් වැනි තත්වත් පිරිමින්ගේ නම් ලිංගික බෙලහීනතා වැනි අහිතකර තත්වත් ඇතිවිය හැකි බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඇල්කොහොල් ශ්‍රවණයට කරන බලපෑම්


ඇල්කොහොල් භාවිතාකරන්නන් අතර ශ්‍රවණාබාධ අධික බව මේවනවිට සොයාගෙන තිබෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ තවමත් ස්ථිර නිගමණයක් නැතත්, ඇල්කොහොල් මගින් මොළයේ ශ්‍රවණ කලාපයට සිදුකරණ බලපෑම් නිසා හෝ කණ ආශ්‍රිතව ශ්‍රවණ ස්නායුවට කරන බලපෑම් නිසා මේ තත්වය උද්ගතවනබව සැක කෙරෙනවා.

ඇල්කොහොල් සහ අස්ථි පද්දතිය


ඇල්කොහොල්වල බලපෑම නිසා රුධිරගත කැල්සියම් මට්ටම අඩුවීම සිදුවෙනවා. එසේම හෝමෝන වලට කරන බලපෑම නිසා අස්ථි වර්ධනය අඩාල වෙනවා. මෙනිසා අස්ථි ක්ෂයවීම සිදුවෙන අතර පහසුවෙන් බිඳීයාමේ අවධානමක් ඇතිවෙනවා. මෙම තත්වය හඳුන්වන්නේ "ඔස්ටියෝපොරෝසිස්" ලෙසයි. සිරුරේ මාංශපේශීවලට රුධිරය සැපයීම අඩාලවීම නිසා මාංශපේෂි ක්ෂයවීම හා මාංශපේෂි දුර්වලවීමත් මේ සමඟම සිදු වෙනවා.




No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...