Thursday, March 21, 2019

ක්‍රියැටිනීන් ගැන ඇත්ත මෙන්න...All about serum creatinine..






රුධිරගත ක්‍රියැටිනීන් පරීක්ෂණය වැදගත් වන්නේ ඇයි?

මෙම පරීක්ෂණය මගින් මැන බැලෙන්නේ රුධිරයේ අඩංගු ක්‍රියැටිනීන් මට්ටමයි. ක්‍රියැටිනීන් යනු මාංශ පේශී වල අඩංගු සංඝටකයක් වන අතර ඒවා බිඳ වැටීමේදී රුධිරයට එක්වන ක්‍රියැටිනීන් සංඝටක ප්‍රමාණය මැන බැලීම මෙම රුධිර පරීක්ෂණයෙන් මූලිකවම සිදු වේ. රුධිරයේ ක්‍රියැටිනීන් මට්ටම කියවීම මඟින් ඔබේ වෛද්‍යවරයාට ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික අදහසක් ලබාගත හැකිවීම මෙම පරීක්ෂණයේ ඇති මූලිකම වැදගත්කමයි.

සෑම වකුගඩුවකම නෙප්‍රෝන (nephrons) ලෙසින් හඳුන්වන රුධිර පෙරහන් මිලියන ගණනක් අඩංගු වන අතර මේවා මඟින් ගුච්ඡිකා (glomeruli) නමින් හඳුන්වන ඉතා තුනී රුධිර කේෂ නාලිකා ගොණු හරහා නිරන්තරයෙන් රුධිරය පෙරා පිරිසිදු කිරීමේ කාර්‍යය සිදු වේ. මෙම ක්‍රියාවලිය මඟින් රුධිරයේ අඩංගු බහිස්‍රාවී අපද්‍රව්‍ය, අමතර ජලය හා වෙනත් අපවිත්‍ර දෑ පෙරා හැරීම සිදු වේ. මෙසේ පෙරා හැරෙන විෂ මුත්‍රාශය තුල ගබඩා කෙරෙන අතර පසුව මුත්‍රා මඟින් සිරුරෙන් ඉවත් කෙරේ.

ක්‍රියැටිනීන් ද මෙලෙස අපගේ වකුගඩු මඟින් සාමාන්‍යයෙන් ඉවත් කෙරෙන බහිස්‍රාවී අපද්‍රව්‍යයකි. එනිසා වෛද්‍යවරු, රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අපගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමේ සාධකයක් ලෙස උපයෝගීකර ගනිති. රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාම වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමක් හෝ වකුගඩුවලට හානි සිදු වී තිබීමක් පෙන්නුම් කරනවා විය හැක.

කෙසේ නමුත් වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැන බැලීමට මෙම පරීක්ෂණයට සමගාමීව වෙනත් පරීක්ෂණ කිහිපයක් ද ඇතැම්විට වෛද්‍යවරයා විසින් නියමකරනු ඇත.

පහත දැක්වෙන්නේ වකුගඩු රෝගී වීමකදී පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝග ලක්ෂණ වන අතර එවැනි රෝග ලක්ෂණ කීපයක් ඔබව පෙලයි නම් බොහෝ විට ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදුවනු ඇත.

  • වෙහෙස සහ නින්ද අපහසු වීම
  • කෑම අරුචිය
  • මුහුණ, වළලුකර, මැණික් කටුව හා/හෝ උදර ප්‍රදේශය ඉදිමීම
  • කොන්දේ පහල ප්‍රදේශයේ (වකුගඩු ආශ්‍රිතව) ඇතිවන කැක්කුම
  • මුත්‍රා පිටවීමේ හෝ පිටවන වාර ගණනේ ඇතිවන වෙනස්කම්
  • අධි රුධිර පීඩනය
  • ඔක්කාරය
  • වමනය

වකුගඩු ආශ්‍රිතව පැන නඟින ගැටළුවලට බලපෑහැකි රෝගී තත්ව ගණනාවක් පවතින අතර පහත දැක්වෙන්නේ එවායින් සමහරකි.

  • glomerulonephritis ගුච්ඡිකාවලට සිදුවන යම් හානියක් නිසා ඒවායේ ඇතිවන ප්‍රදාහ තත්වයක් (inflammation) මෙලෙස හැඳින් වේ.
  • pyelonephritis වකුගඩු ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියාමය ආසාදනයකි.
  • පුර්ස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝග උදා- enlarged prostate (මෙහිදී පුරස්ථිත ග්‍රන්ථි ඉදිමී සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම සිදු වේ.)
  • මුතා මාර්ගයේ (Urinary tract) ඇතිවන අවහිර වීම් උදා- වඩුගඩු ගල් (Kidney stones) නිසා
  • වකුගඩුවලට ඇති රුධිර සැපයුම අඩාල වීම (සංවයන හෘද අකරණි තත්වයකදී (congestive heart failure), දියවැඩියා රෝගී තත්වයේදී මෙන්ම තදබල ලෙසට සිදුවන විජලනය වීමකදී මෙවැනි තත්වයක් ඇතිවිය හැක)
  • වකුගඩු සෛල විනාශ වීම උදා- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා
  • ස්ට්‍රෙප්ටොකොකල් ආසාදන උදා- poststreptococcal glomerulonephritis
  • ඇතැම් ඖෂධවර්ග නිසාද (Aminoglycoside ඖෂධ උදා-ජෙන්ටාමයිසීන් (Gentamicin) ) සමහර පුද්ගලයන්ගේ වකුගඩු සෛල විනාශ වීම සිදුවිය හැක. මෙවැනි ඖෂධ වර්ග භාවිතා කරන රෝගීන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවතින්නේදැයි බැලීමට වෛද්‍යවරු වරින්වර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීම සිදු කරති.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණය සඳහා සූදානම් වීම

මූලිකවම කිව යුත්තේ මේ සඳහා අමුතු සූදානම් වීමක් අනවශ්‍යය බවයි.
කෙසේ නමුත් ඔබ ගන්නා ඇතැම් ඖෂධ වර්ග නිසා (වකුගඩුවල්ට හානියක් නොවුනත්) ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කර තැබීම කලයුතු වේ.
උදා- cimetidine (Tagamet, Tagamet HB),
 nonsteroidal anti-inflammatory drugs (NSAIDs) ඇස්ප්‍රීන්, බෲෆන් (Ibrufen)  
chemotherapy drugs - පිළිකා මර්ධනයට උපයෝගී කරගනී
cephalosporin antibiotics - cephalexin (Keflex),cefuroxime (Ceftin)  වැනි

ඇතැම් විට මෙවැනි ඖෂධ වර්ගයක් රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රථම තාවකාලිකව නවතාලීමට හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට හෝ වෛද්‍යවරයා විසින් පියවර ගනු ලැබිය හැක. කෙසේ නමුත් ඔබ මේ ඖෂධ භාවිතා කරනෙක් නම් ඔබේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පිළිබඳ තිරණය කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳවද අවදානයක් යොමු කරනු ඇත. එනිසා ඔබ ගන්නා යම් ඖෂධ වර්ගයක් වේ නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවයා දැනුවත් කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතු ය.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම මැන බැලීමේ පරීක්ෂණයට සාම්පලය ලබා ගැනීම

මෙය ඉතා සරල පරීක්ෂණයක් බැවින් අව්ශ්‍යය වන්නේ ඉතා කුඩා ලේ සාම්පලයක් සිරුරෙන් ලබා ගැනීම පමණක් වේ.  සාම්පලය ලබා ගැනීම සඳහා ඔබේ අත වටා පටියක් බඳින අතර එනිසා ශිරාවල රුධිරය එක් රැස් වීමෙන් පහසුවෙන් රුධිරය ලබා ගැනීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රුධිර සාම්පලය ලබා ගන්නා තැනැත්තාට හැකියාව ලැබේ. සුදුසු ස්ථානයක් තෝරාගත් පසු ඔහු/ඇය විසින් සුදුසු විෂබීජ මර්ධන මාධ්‍යයක් උදා-සර්ජිකල් ස්පිරිට් යොදා එම ස්ථානය පිරිසිදු කර කුඩා සිලින්ජරයකට එම රුධිර සාම්පලය ලබා ගනු ඇත. එහිදී ඔබට ඉතාම කුඩා වේදනාවක් පමණක් දැනෙනු ඇත.


මෙම  පරීක්ෂණය නිසා ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ නොසලකා හැරිය හැකි තරම් අවම මට්ටමක පවතී. කෙසේ නමුත්,
  • රුධිරය දැකීම නිසා ක්ලාන්තය ඇතිවීම,
  • කරකැවිල්ල
  • රුධිරය ලබාගත් ස්ථානයේ රතුවීමක් හෝ සම තුවාල වීමක් සිදුවීම
  • තැල්ම
  • වේදනාව    හෝ
  • ඉතා කලාතුරකින් ආසාදනය වීම වැනි අතුරු ආබාධයක් ඇති වීමේ ඉතා සුළු අවධානමක් මේ පරීක්ෂණය හා ගොණුව පවතී.

මෙසේ එක් රැස් කරගන්නා රුධිර සාම්පලය සුදුසු බඳුනක බහා පරීක්ෂණය සඳහා රසායනාගාරයට යැවීම මේ පරික්ෂණයේ මීළඟ පියවර වේ.

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමෙන් කියවෙන්නේ කුමක් ද?

රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් මනිනු ලබන්නෙ රුධිරය ඩෙසිලීටරයක ක්‍රියැටිනීන් මිලිග්‍රෑම් කොපමණක් තිබේ ද යන ආකාරයටයි. (mg/dL).
සිරුරේ මාංශ පේශී බහුල එනම් වඩාත් මහත දෙහෙත පුද්ගලයන්ගේ රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම සාමාන්‍යයෙන් ඉහල අගයක් ගනී. එසේම රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම පුද්ගලයාගේ වයස හා ස්ත්‍රී පුරුෂ භාවය යන සාධක මතද රඳා පවතී.

මේ සාධක සියල්ල කැටිකර රුධිරගත ක්‍රියැටිනීන් මට්ටමේ සාමාන්‍යය අගය පුරුෂයන් සඳහා 0.9 - 1.3 mg/dL ලෙසද කාන්තාවන් සඳහා 0.6 - 1.1m/dL ලෙස ද ගණන් බලා ඇත.

ක්‍රියැටිනීන් මට්ටම රුධිරයේ ඉහල යාම බොහෝ විට පෙන්නුම් කරණු ලබන්නේ වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකරන බවයි.

එසේම,
  • මුත්‍රා මාර්ගය අවහිර වීම,
  • ප්‍රෝටීන් අධික ආහාරයක් ගැනීම,
  • විජලනය,
  • වකුගඩුවල ප්‍රශ්ණ උදා-වකුගඩුවලට හානි වීම, ආසාදන
  • ප්‍රහාරය (shock),හදවතේ ක්‍රියාකාරීත්වය අඩපන වීම හෝ දියවැඩියා රෝගයේ යම් සංකූලතාවයක් නිසා වකුගඩු කරා පැමිණෙන රුධිර පරිමාව අඩු වීම
වැනි තත්ව වලදීද රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතී.

කෙසේ නමුත් ඔබේ ක්‍රියැටිනීන් මට්ට්ම ඉහල යාමට හේතු වූ සැබෑ කාරණය වකුගඩු තීව්‍ර හෝ කාලීන (acute or chronic) වකුගඩු හානී වීමක් නම්, එම ප්‍රශ්ණය නිවැරදිව හඳුනාගෙන එය නිවැරදි කරන තෙක්ම ක්‍රියැටිනීන් මට්ටම පහල නොයනු ඇත. එසේම ඉහත වෙනත් හේතුවක් නිසා ක්‍රියැටිනින් මට්ටම ඉහල ගිය අවස්තා වලදීද එම තත්වය නිවරදි කරන තෙක් ක්‍රියැටිනීන් මට්ටම වෙනස් නොවේ.

නියමිත මට්ටම්ට ව්ඩා රුධිරගත ක්‍රියැටිනීන් මට්ටම අඩු වීම ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්වයකි. එයට බොහෝවිට හේතු වන්නේ යම් තත්වයක් නිසා සිරුරේ මාංශ පේශී ක්ෂය වී යාමයි.

රුධිරගත ක්‍රියැට්නීන් මට්ට්ම අඩංගු වාර්ථාව ඔබ අතට පත් වූ පසු අනිවාර්‍යයෙන්ම කලයුත්ත නම් එය වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂාකරවා ගැනීමයි. ක්‍රියැටිනීන් මට්ටමේ යම් වෙනසක් තිබේනම් ඒ පිළිබඳව වඩාත් නිවැරදිව ඔබට පිහිට විය හැක්කේ ඔබේ වෛද්‍යවරයාටයි.

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...