Tuesday, January 9, 2018

මාරාන්තික පෙනහලු පිළිකාව සාර්ථකව ජය ගනිමු!! fighting lung cancer!!



පිළිකා අතර වැඩිම මරණ ප්‍රමාණයකට වගකිවයුතු පිළිකාව ලෙස සැලකෙන්නේ පෙණහලු පිළිකාවයි. පෙනහලු පිළිකාව ඇතිකිරීමේ ප්‍රධාන හේතුකාරකය ලෙසට සැලකෙන්නේ දුම් පානයයි. පෙනහලු පිළිකාවලින් 9/10 කටම වගකිවයුත්තා දුම් පානයයි. ඊට අමතරව දූෂිත හා විකිරණශීලී වායූන් නිසාද පෙනහලු පිළිකා ඇති කරයි.

දුම්පානය හානිකර වන්නේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කර ගනිමු.


දුම් වැටිය පිළිකාකාරක රසායනයන් විශාල ප්‍රමාණයක් දරා සිටී. ඊට අමතරව දුම් පානය මගින් පෙනහලුවල ස්වාභාවික ආරක්ෂණ පද්දතිය බිඳ හෙලීමද සිදුකරයි. එනම් වා මගෙහි පවතින සියුම් රෝම විනාශ කරයි. පෙනහලු වලට ඇතුලුවන හානිකර රසායනයන්, බැක්ටීරියාවන් හා වයිරසයන් ඉවතට තල්ලුකර දමන්නේ මෙම සියුම් රෝම මගිනි. දුම් පානය මෙම ක්‍රියාවලිය බිඳ හෙලීම නිසා පිළිකාකාරක රසායනයන් පෙනහලුතුල වඩාත් පහසුවෙන් තැන්පත්වීම සිදු වෙයි.

පෙණහලු පිලිකාව මූලික අවධියේදීම හදුනා ගතහොත් සුවකිරීමට භාවිතාකලහැකි නවීන ප්‍රථිකාරක්‍රම මේ වනවිට සොයාගෙන ඇත. එනිසා පෙනහලු පිළිකාවක මූලික ලක්ෂණ පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

පෙනහලු පිලිකාව මුල් අවදියෙදී ලක්ෂණ පෙන්නුම් නොකරන තරම්ය. ක්‍රමයෙන් වර්ධනය වීමෙදී,


  • නොනවතින කැස්ස,
  • පපුවේ කැක්කුම - විශේෂයෙන්ම ගැඹුරින් හුස්ම ගැනීමේදී,
  • හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතා,
  • කහිනවිට සෙම සමඟ රුධිරය පිටවීම,
  • වෙහෙසකර බව
  • වැනි ලක්ෂණ පෙන්නුම් කල හැක.

Spiral CT




සමහරක් පෙනහලු පිලිකා මෙම පරීක්ෂණය මගින් හඳුනා ගත හැක. නමුත් එම අවස්තාව වනවිටත් පිලිකාව සුවකල නොහැකි මට්ටමට ලඟා වී තිබීමට ඇති හැකියාව ඉතා ඉහලය. කෙසේ නමුත් වයස අවුරුදු 55-80 අතර සිටින දුම් පානයට ඇබ්බැහි වූ පුද්ගලයන්ටත් දුම් පානය අතහැර වසර පහලවක් සම්පූර්ණ නොකල පුද්ගලයන්ටත් මෙම පරීක්ෂණය වසරකට වරක්වත් සිදු කර ගැනීම ඉතා වැදගත් බව The U.S. Preventive Services Task Force ආයතනය නිර්දේශකර ඇත. (https://www.uspreventiveservicestaskforce.org/Page/Document/UpdateSummaryFinal/lung-cancer-screening

සිදුකලහැකි වෙනත් පරීක්ෂණ




Chest x ray
Sputum test -ඛෙටය හෝ සෙම් පටල පරීක්ෂාව

ඉහත පරීෂණ මගින් පෙනහලු පිලිකාවක් බවට සැකකල හැකි සාධක මතූඋවහොත් මීලඟ පියවර වන්නේ biopsy එනම් පටක විශ්ලේෂණ පරීක්ෂාවක් සිදුකර ගැනීමයි. මෙහිදී වෛද්‍යවරයා විසින් සැකසහිත වර්ධනයෙන් (suspicious growth) සියුම් සාම්පලයක් ලබාගෙන අන්වීක්ෂීය පරීක්ෂණයන් සඳහා යොමු කිරීම සිදුවේ. මෙය සිදුකරනු ලබන්නේ මේ සඳහා විශේෂ පුහුණු ලැබූ වෛද්‍යවරුන් (pathologist) මගිනි. මෙම පරීක්ෂණය මගින් එම වර්ධනය පෙනහලු පිලිකාවක්ද යන්න හා එය පෙනහලු පිලිකාවක්නම්, කුමන වර්ගයේ පෙනහලු පිලිකාවක්ද යන්න නිගමනය කිරීමට පිලිවන.


පෙනහලු පිළිකාව වර්ග කිරීම



ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතී.
  1. small-cell lung cancer
  2. non-small-cell lung cancer යනු එම වර්ග දෙකයි.

මින් වඩාත් භයානක වන්නේ පළමු වර්ගයයි. එය වඩා වෙගයෙන් සිරුර පුරා පැතිර යයි. මෙම වර්ගය වඩාත් සුලභව දැකිය හැක්කේ දුම් පානය කරන්නන් අතරය. කෙසේ නමුත් වඩාත් සුලභව දැකිය හැකි පෙනහලු පිළිකා වර්ගය දෙවැනි වර්ගයයි.(non-smll-cell lung cancer). මෙම වර්ගය සිරුර තුල ව්‍යාප්තවීම වඩාත් සෙමෙන් සිදුවන අතර පෙනහලු පිළිකාවලින් 85%ක්ම මෙම වර්ගයට අයත්ය.

පිළිකාවේ අවස්ථා



පිළිකාවේ පැතිරයාම මුල් කොටගෙන එය විවිධ අවස්ථාවන්ට වෙන් කෙරේ. small-cell  පෙනහලු පිළිකා වර්ගය ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකට වෙන් කෙරේ.

සීමිත
මෙම අවස්ථාවේදී පිළිකාවේ පැතිරීම සීමිත වන අතර එය එක් පෙනහල්ලකට හා උපරිම ආසන්න වසා ගැටිති වලට පමණක් සීමා වී පවතී.

විස්තීර්ණ
මෙම අවස්ථාව වනවිට පිළිකාව පෙනහලු දෙකටම හා සිරුරේ වෙනත් අවයව වලටද පැතිරගොස් තිබිය හැක.

non-smll-cell  පෙනහලු පිළිකා වර්ගය පිළිකාවේ පැතිරයාම සිදුවී තිබෙන ආකාරය පදනම් කොටගෙන1 සිට හතර දක්වා අවස්ථා හතරකට බෙදා වෙන් කෙරේ.


මූලික අවස්ථාවෙදී සිදුකෙරෙන ප්‍රථිකාර





non-smll-cell වර්ගය එක් පෙනහල්ලකට පමනක් පැතිරගොස් ඇති අවස්ථාවකදී ශල්‍ය ප්‍රතිකාර ඉතාම ඵලදායී ලෙස භාවිතාකල හැක. මෙහිදී ශල්‍ය වෛද්‍යවරයා විසින් පිළිකාව සහිත පෙනහල්ලෙන් කොටසක් හෝ සම්පූර්ණ පෙනහල්ලම ඉවත් කිරීම සිදු කරයි. අනතුරුව රෝගියා විකිරණ චිකිත්සාව (radiotheraphy) හෝ රසචිකිත්සාව (chemotheraphy) කෙරෙහි යොමු කිරීම බොහෝවිට සිදු වේ. එහි අරමුණ යම් හෙයකින් පිළිකා සෛල ඉතිරි වී තිබේනම් ඒවාද සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. sall-cell  පෙනහලු පිලිකා වර්ගයට ශල්‍ය ප්‍රතිකාරව එතරම්ම ප්‍රතිඵලදායී නොමැත. එයට හේතුව ඒ වනවිටත් පිළිකාව බොහෝ දුරට පැතිර ගොස් තිබිය හැකි වීමයි.

පිළිකාව බොහෝ දුරට පැතිර ගොස් තිබේනම් විකිරණ චිකිත්සාව හා රසචිකිත්සාව භාවිතයෙන් සාර්ථක ලෙස රෝග ලක්ෂණ පාලනය කිරීමට හා රොගියාගේ ආයු අපේක්ෂාව වර්ධනය කිරීමට හැකියාව පවතී. small-cell පෙනහලු පිලිකා වර්ගයේදී නම් ප්‍රධානතම ප්‍රථිකාර ක්‍රමය වන්නේ රසචිකිත්සාවයි.


නව ප්‍රවනතා




ඉලක්කගත ප්‍රතිකාරක්‍රමය
මෙහිදී පිළිකා සෛලවල ගුණනය වීමේ යාන්ත්‍රණයට භාදා එල්ල කිරීම හා ඒත් සමඟම රසචිකිත්සාව භාවිතයෙන් පිළිකා සෛලවලට රුධිර සැපයුම අඩාල කිරීම සිදු කෙරේ.

ප්‍රතිශක්ති චිකිත්සාව (immunotheraphy)
මෙහිදී සිදුවන්නේ පිළිකා සෛල හා සටන් වදින සිරුරේ ප්‍රතිශක්තීකරන පද්දතිය ශක්තිමත් කිරීමයි. මෙය non-small-cell පෙනහලු පිළිකා වර්ගය මර්ධනය කිරීමට ඉතාම සාර්ථකව යොදාගත් හැක. නමුත් මෙය සෑම පෙනහලු පිළිකා රෝගියෙකුටම එකලෙස ප්‍රථිඵලදායී නැත.


දුම් පානය අතහැර දමන්න.



පෙනහලු පිළිකාවෙන් මිදී සිටීමට ගතහැකි වඩාත්ම ප්‍රථිපලදායී ක්‍රියාමාර්ගය නම් දුම් පානය අතහැර දැමීමයි. පෙනහලු පිළිකා රෝගියෙකු බවට හඳුනාගත් පසුව උවද දුම් පානය අතහැර දැමීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිපල අත්පත් කරගත හැකිබව නවීනතම වෛද්‍ය පර්යේෂණ මගින් මේ වනවිට තහවුරු කරගෙන ඇත.


අක්‍රීය දුම් පානය


දුම් පානය මෙන්ම පෙනහලු පිළිකාවලට බලපාන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ අක්‍රීය දුම් පානයයි.තමා දුම් පානය නොකලත් සහකරු හෝ සහකාරිය දුම් පානය කරන්නෙක් නම් පෙනහලු පිලිකාවක් ඇතිවීමේ අවදානම 20% කින් හෝ 30%කින් ඉහල නඟින බව මේ වනවිට තහවුරු කරගෙන ඇත. 



අවධානම් රැකියා



යුරේනියම්, ආසනික් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත රැකියාවල නිරත්වන්නන් පෙනහලු පිළිකාවලට පහසුවෙන් ගොදුරු වීමේ අවධානමක් පවතී. එසේම ඇස්බැස්ටෝස් මගින්ද පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානම ඉහල දමයි. මෙනිසාම බොහෝරටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩිලෙස සීමාකර ඇත.



වායු දූෂණය



තවමත් දුම් පානය තරම් පෙනහලු පිළිකා ඇතිකිරීමට බලනොපාන නමුත්, වායු දූෂණය මගින් පෙනහලු පිළිකා ඇතිවීම කෙරෙහි සිදුකරන බලපෑම් නොසලකා හැරිය නොහැකි මට්ටමකට ලඟා වෙමින් පවතී. රථ වාහන, කර්මාන්තශාලා සහ බලාගාර මගින් පිට කරන දුම, අක්‍රීය දුම් පානය මගින් ඇතිකරන බලපෑමට සමාන බලපෑමක්, පෙනහලු පිළිකා ඇතිවීම කෙරෙහි සිදු කරන් බව විද්වත් මතයයි.

මෙයට අමතරව පවුල් ඉතිහාසය පවුලේ එනම් යම් අයෙකුට පෙනහලු පිළිකාවක් වැලදී තිබීම හා රසායනයන් මගින් දූෂිත ජලය පානය කිරීම ද පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානම වැඩි කරන සාධක බවට හඳුනාගෙන ඇත.



පිළිකා අතර කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද වඩාත් මාරාන්තික පිළිකා වර්ගය වන්නේ පෙනහලු පිළිකාවයි. මෙයින් මිදීමට ගතහැකි ප්‍රධානතම පියවර වන්නේ දුම් පානයෙන් වැලකී සිටීමයි. මෙහිදී අක්‍රීය දුම් පානය කෙරෙහිද විශේෂ අවධානමක් යොමු කල යුතුය. යමෙක් ඔබ අසල සිට දුම් පානය කරන්නේ නම් වහාම එයට එරෙහි වන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත.

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...