Monday, January 22, 2018

ඔබ කාපල් ටනල් සින්ඩ්‍රෝමය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි? keep your eyes open about Carpal Tunnel Syndrome!

කාපල් ටනල් සින්ඩ්‍රෝමය පිළිබඳ සියලු තතු මෙන්න..


කාපල් ටනල් යන්න ඔබේ අතේ, අත්ල පැත්තේ, මැණික් කටු සංදියේ පවතින අස්ථි හා බන්ධනීන් (bones and ligaments) එකතුවී ගොඩ නැගුන පටු උමගක් හෝ එසේත් නැත්නම් පටු මගක් ලෙසට සරලව දැක්විය හැකියි. 

මාපටඟිල්ලේ හා පළමු ඇඟිලි තුනෙහි සංවේදනයන් හා චලන පාලනය කරන මධ්‍ය ස්නායුව වැටී ඇත්තේ මේ පටු මග ඔස්සේයි. මීට අමතරව මාපටඟිල්ලේ හා අනිකුත් ඇඟිලිවල ඛණ්ඩරාවන් හෙවත් බලනහර (tendons) මේ හරහා වැටී ඇත.
මෙය තෙරපීමකට හෝ පීඩනයකට ලක් වීමෙන් අතෙහි ඇතිවන හිරිය, වේදනාව හෝ අතෙහි ක්‍රියාකාරීත්වය දුර්වල වීම කාපල් ටනල් සින්ඩ්‍රෝමය ලෙස කෙටියෙන් දැක්විය හැකියි.


මූලික ලක්ෂණ


මෙහි ලක්ෂණ වර්ධනය වන්නේ ඉතා සෙමිනි. මුලින් රාත්‍රී කාලයේදී හෝ අවදි වීමේදී පමණක් මූලික ලක්ෂණ දක්නට ලැබෙනවා විය හැක. එහිදී එය ඉදිකටු තුඩකින් අනිනවාක් වැනි තත්වයකට පමණක් සීමා වීම බොහෝවිට සිදු වේ. දිවා කාලයේදී යමක් අතින් ග්‍රහණය කරගැනීමේදී (උදා-ඔබේ ජංගම දුරකතනය) හෝ රිය ධාවනය වැනි ක්‍රියාකාරකමකදී අතේ වේදනාවක් හෝ හිරි වැටීමක් දක්වා මෙම තත්වය ක්‍රමිකව වර්ධනය වීම සිදුවිය හැක. ඇඟිලි සෙලවීමෙන් හෝ ගසා දැමීමෙන් මෙම තත්වය පහව යාම මූලික අවධියේදී සිදුවේ.

ක්‍රමිකව වර්ධනය වීමෙදී,



  1. මාපටඟිල්ලේ හා පළමු ඇඟිලි දෙකෙහි ක්‍රියාකාරීත්වය දුර්වල වේ. යමක් ග්‍රහණය කරගැනීම අපහසු වේ. නොදැනුවත්වම යම් යම් දේ ඔබ අතින් ගිලිහීයාම සිදුවිය හැකි අතර  කමිසයක බොත්තම් දැමීම වැනි ක්‍රියාවන් තනිව කර ගැනීම අපහසුවීමද සිදු වේ.
  2. අත හිරි වැටීම
  3. ඇඟිලි ඉදිමී ඇතිවාක්සේ දැනීම. (ඉදිමීමක් දැකිය හැකි නොවුනත්)
  4. උණුසුම හා ශීතල වෙන්කර හඳුනා ගැනීම අපහසු වීම (අත්ලට හා ඇඟිලි වලට)

කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවන්නේ කෙසේද?


මේ සඳහා නිශ්චිත හේතුවක් මේ දක්වා හඳුනාගෙන නොමැත. මෙය ඉතා පටු මගක් නිසා ඔනෑම හේතුවක් නිසා ඇතිවන ඉදිමුමකදී හෝ ප්‍රධාහයකදී මද්‍ය ස්නායුව තෙරපීමකට ලක් වීම සිදුවිය හැක.මෙම තත්වය අත් දෙකටම එකවර ඇතිවිය හැකිනමුත් බොහෝවිට සිදුවන්නේ හුරු අත මුලින් මෙම තත්වයට ගොදුරු වීමයි.

ඇතිවිය හැක්කේ කාටද?

කාපල් ටනල් සින්ඩ්‍රෝමය කාන්තාවන්ට ඇතිවීමේ අවධානම පිරිමින්ට වඩා තුන් ගුණයකින් වැඩිය.

  • ඔබට දියවැඩියාව, වාතරක්තය (gout), රුමැටොයිඩ් පර්වාදාහය (rheumatoid arthritis), මන්ධතයිරොයිඩතාවය (hypothyroidism) වැළඳී ඇත්නම් ,
  • ඔබ ගර්භනී මවක්නම්,
  • ඔබේ අතේ මැණික් කටුව ආසන්නයේ අස්ථි බිඳුමක් සිදු වී ඇත්නම් හෝ මැණික් කටුව උලුක්කු වී ඇත්නම් ඔබට කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවධානම අනිකුත් අයට වඩා කිහිප ගුණයකින් වැඩිය.

යතුරු ලියනය හෝ පරිඝනකය අධිකව භාවිතා කිරීම කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවධානම වැඩි කරන බවට මතයක් ඇතත් එය සත්‍ය නොවන බවට මේ වනවිට සොයාගෙන ඇත. නමුත් කම්පනයවන අත්යන්ත්‍ර භාවිතා කරන්නන්ට මෙම තත්වය ඇති වීමට අධික අවධානමක් ඇත.

ඔබ ප්‍රතිකාර ගතයුත්තේ ඇයි?


ප්‍රතිකාර නොගෙන සිටීම නිසා රෝග ලක්ෂණ ස්ථාවර වීම හා වර්ධනය වීම සිදුවේ. (මුල් අවධියේදී රෝග ලක්ෂණ මතුවන්නේ වරින්වරය). වේදනාව අත දිගේ ඉහලට, උරහිස දක්වාම වර්ධනය වීම සිදුවිය හැක. ඊට අමතරව මෙම තත්වය දීර්ඝකාලීනව පැවතීම අතේ මාපටඟිල්ල ආශ්‍රිත මාංශපේශී ක්ෂයවීයාමට (atrophy) හේතුවිය හැක. මේ තත්වය දක්වා රෝගය උත්සන්න උවහොත්, අතේ ක්‍රියාකාරීත්වය, ශක්තිය හා සංවේදනයන් යථාතත්වයට පත් කිරීම ඉතාමත්ම අපහසුය.

සමාන ලක්ෂණ සහිත වෙනත් රෝග තත්ව.
  • අත ආශ්‍රිතව සිදුවන අනතුරු
  • ආතරයිටිස්
  • ස්නායුමය ආබාධ උදා:-diabetic neuropathy

සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට නියමිත පරීක්ෂණ මගින් මෙම රෝග තත්ව වෙන්කර හඳුනාගත හැක.

භාවිතාකරන පරීක්ෂණ.


Tinel test - මෙහිදී මධ්‍ය ස්නායුවට තට්ටු කිරීම මගින් (tapping) ඇඟිලිවල සංවේදනයන්ගේ සිදුවන වෙනස්කම් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරයි.

Phalen test - මෙහිදී ඔබේ දෑතේ පිටිඅත්ලයන් එකිනෙක තෙරපාගෙන මිනිත්තුවක් පමණ සිටීමට වෛද්‍යවරයා විසින් ඔබට පවසනු ඇත. එමගින් අතේ හිරිවැටීමක් හෝ වෙනත් සංවෙදනයන්ගේ වෙනසක් සිදුවනු ඇත්දැයි යන්න වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරයි.

ස්නායු සන්නයන පරීක්ෂාව (nerve conduction study)
මෙහිදී අතේ හා මැණික් කටුව මත සවි කරන ඉලෙක්ට්‍රෝඩ කීපයක් මගින් සියුම් විද්‍යුත් කම්පනයන් ලබා දෙන අතර, එමගින්, මද්‍ය ස්නායුව ආවේග සම්ප්‍රේශණය කරන ආකාරය පරීක්ෂාකෙරේ.

ඉලෙක්ට්‍රොමයෝග්‍රැපි පරීක්ෂාව
මෙහීදී පේශි තුලට සියුම් ඉදිකටුවක් ඇතුල්කරනු ලැබේ. එය උපයෝගීකොටගෙන පෙශියේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයන් මැන බලයි. මෙහි ප්‍රථිපල මගින්ද මධ්‍ය ස්නායුවට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ නිගමනය කිරීමට වෛද්‍යවරයෙකුට හැකියාව ඇත.

සිදුකරන ප්‍රථිකාර

කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීමට මූලිකව බලපෑහැකි හේතු උදා:-දියවැඩියාව, ආතරයිටිස් ඉවත්කිරීම හෝ ඒවාට නිසි ප්‍රතිකාර ලබාදීම මුලින්ම කල යුතුය. මැණික් කටුවට හා අතට විවේකය ලබාදීමද මෙහිදී ඉතා වැදගත් වේ. අතේ හා මැණික් කටුවේ ක්‍රියාකාරීත්වයන් හා චලන සීමා කලයුතුය.

වේදනාව අවම කිරීමට අවුෂධ ප්‍රතිකාර (Non-steroidal anti-inflammatory drugs) උදා:-බෲෆෙන් (ibuprofen) හා අයිස් යෙදවුම් භාවිතය (cold compress) සිදුකල හැක.

රෝග ලක්ෂණ අධිකනම් ස්ටීරොයිඩ් අවුෂධ මුඛයෙන් හෝ නික්ෂේපණ මගින් ලබා දීම වෛද්‍ය නිර්දේශය විය හැක. එමගින්  මධ්‍ය ස්නායුව අවට ප්‍රධාහ තත්වයන් ඉවත්කර රෝග ලක්ෂණ අවම කිරීම සිදුවේ. නමුත් එය තාවකාලික සහනයක් පමණක් වීමටද ඉඩ ඇත. මීට අමතරව ඉදිමුම අවම කිරීමට මුත්‍රවර්ධක අවුෂධ ( diuretics) හා විටමින් බී6 ලබා දීමද සිදුකල හැක.


මීට අමතරව ස්ථානීය නිර්වින්දක අවුෂධ උදා:-ලිග්නොකේන් මගින්ද රෝග ලක්ෂණ පාලනය කරගත හැක.

ශල්‍ය ප්‍රතිකාර

මේ සඳහා භාවිතා කෙරෙන්නේ ඉතා සරල ශල්‍ය කර්මයක් බැවින් ශල්‍යයට පෙර සිහිනැති කිරීමක් අවශ්‍යය වන්නේ නැත. කාපල් මගට ඉහලින් ඇති බන්ධනීන් කපා පීඩනය ඉවත් කිරීම පමනක් මෙහිදී සිදු වේ. එනිසා ශල්‍යයෙන් අනතුරුව කාපල් මගට වැඩි ඉඩකඩක් ලැබේ. මෙම ශල්‍යකර්මය එන්ඩොස්කෝපයක් භාවිතයෙන්ද සිදුකල හැක. එහිදී ඉතා කුඩා කැපුමක් මගින් ඉතා කුඩා කැමරාවක් ඇතුල් කර, ශල්‍යකර්මය සිදුකරනු ලැබේ.

ශල්‍යයෙන් අනතුරුව,

ඉදිමුමක් හෝ තද ගතියක් දැකිය හැකිවීම සාමාන්‍යයෙන් සිදුවේ. මෙම තත්වය මඟහැර ගැනීමට, අත හදවත මට්ටමට වඩා ඉහලින් රඳවා ගැනීම හා නිතර නිතර ඇඟිලි සෙලවීම කල යුතුය. අත හා මැණික් කටුව ප්‍රදේශය විවේකීව තබා ගැනීමද ඉතා වැදගත් වේ. වේදනාව හා ක්‍රියාකාරිත්වයේ දුර්වලතා මාස දෙකක පමණ කාලයක් තුල ක්‍රමයෙන් මඟ හැරී යයි. කෙසේ නමුත් සම්පූර්ණ සුවය ලැබීමට ශල්‍ය කර්මය කල දිනයේ සිට මාස හයක පමණ කාලයක් ගතවිය හැක.

ව්‍යායාම

රෝග ලක්ෂණ පහව ගිය පසු අත හා මැණික් කටුව ප්‍රදේශය ශක්තිමත් කිරීමේ ව්‍යායාම ආරම්භ කල යුතුය. එසේම රෝගය නැවත ඇතිවීම වලක්වා ගැනීමට අතේ හා මැණික් කටුවේ ඉරියව් නිවරදිව පවත්වාගන්නා ආකාරයද ඉගෙන ගත යුතුය. මේ සඳහා වෘත්තීය චිකිත්සකයකුගේ සහාය ලබා ගත හැක.

මෙම රෝගය සඳහා කටු චිකිත්සාව වැනි වෙනත් ප්‍රතිකාර ක්‍රම භාවිතාකල හැකිබවට කියවෙතත් ඒ පිලිබඳව නිවරදිම තොරතුරු වාර්තා වී නොමැත. කෙසේ නමුත් යෝග ව්‍යායාම මගින් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකිබවට නම් සමීක්ෂණ මගින් තහවුරු කර ඇත. මෙහිදී සුදුසුකම් ලත් හා පුහුණු යෝගී ආචාර්‍යවරයෙක්ගෙන් පමණක් උපදෙස් ලබා ගැනීමට වග බලා ගැනීම ඉතා වැදගත්ය. 


කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීම වලක්වාගැනීමට නම්,

  • නිවැරදි ඉරියව් භාවිතා කරන්න
  • නිවැරදි උපකරණ භාවිතා කරන්න
  • අත, ඇඟිලි හා මැණික් කටු සංදිය නැමීම හා දිග හැරීම නිතර නිතර සිදු කරන්න
  • වැඩ කිරීමේදී වරින් වර කෙටි විවේකයන් ලබා ගන්න.

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...