Thursday, April 19, 2018

විමසිලිමත් වන්න! වකුගඩු රෝගී වීමට මෙන්න මේවා බලපාන බව ඔබ දැන සිටියාද? ALERT! your kidneys could be failing!




විමසිලිමත් වන්න! වකුගඩු රෝගී වීමට මෙන්න මේවා බලපාන බව ඔබ දැන සිටියාද?
වකුගඩු රෝගී වීම වසරකට මරණ ලක්ෂ ගණනකට හේතුවනබව ඔබ දැන සිටියාද? ඇත්තෙන්ම වකුගඩු රෝගී වීමට ප්‍රධානතම සාධකයක් වන්නේ අපේ ජීවන රටාවේ වැරදි පුරුදුයි.
අපේ රුධිරයේ තියන අපද්‍රව්‍ය පෙරා ඉවත්කරන පෙරණය තමා වකුගඩු. වකුගඩු රෝගී වූ විට, සිරුර තුළ හානිකර අපද්‍රව්‍ය පෙරී ඉවත් නොවන නිසා ඒවා එක් රැස් වීම සිදු වෙනවා. 

කාලීන වකුගඩු රෝගය/කාලීන වෘක්ක දාහය (Chronic Kidney Disease)


 
වකුගඩු රෝග අතර වැඩියෙන්ම දක්නට ලැබෙන රෝග තත්වයක් විදියට කාලීන වකුගඩු රෝගය හඳුන්වන්න පුලුවන්. මේ රෝගය නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් හීන වී යනවා. මේක මාස ගනනක ඉඳන් අවුරුදු ගනනාවක් දක්වා විහිදී යන්න පුලුවන් ක්‍රියාවලියක්. ලෝකයේ ජනග්‍රහනයෙන් 10%ක් පමණ ප්‍රමාණයක් මේ රෝගය නිසා පීඩා විඳින බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.මේ කාලීන වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුවක් වන්නේ තරබාරුබවයි. විශේෂයෙන් විශාල උදරයක් සහිත පුත්ගලයන් මේ රෝගී තත්වයට පහසු ගොදුරු බව මේ වනවිට සොයාගෙන තිබෙනවා. වයසත් සමඟ උදරය නෙරා ඒම ආසියානුවන් අතර ඉතා සුලභ තත්වයක්. එනිසා ඔවුන් කාලීන වකුගඩු රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහලයි. (නවතම වාර්ථා අනුව නියමිත ඉණේ වට ප්‍රමාණය ඉක්මවා ගිය ආසියානුවන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් විට  පිරිමින්ගෙන් 48% හා  ගැහැනුන්ගෙන් 63%ක් වනවා).

තවත් භයානක කරුණක් වන්නේ කාලීන වකුගඩු රෝගය මුල් කාලීනව කිසිදු රෝග ලක්ෂණයකින් තොර වීමයි. මුල් කාලීණව මෙම රෝගය නිහඬව වර්ධනය වෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පටන් ගන්නේ රෝගය වඩාත් වර්ධනය වීමෙන් පසුවයි. මේ රෝග ලක්ෂණ පහත පරිදි වෙනවා.


  • සිරුරේ දුබල භාවය හා අධික වෙහෙස
  • මුත්‍රා කිරීමේදී වේදනාවක් දැනීම
  • මුතා කිරීමේ වාර ගණන වැඩිවීම
  • කොන්දේ පහල කොටසේ වේදනාව
  • කෑම අරුචිය
  • වමනය හා ඔක්කාරය සිරුර පුරා පළු මතුවීම හා කැසීම


කාලීන වකුගඩු රෝගය කාන්තාවන්ට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. 
 විශේෂයෙන් දරුවන් සෑදිය හැකි වයසේ සිටින කාන්තාවන්ගේ සරු බව අඩු කිරීමට මෙම රෝගය හෙතු වෙනවා. එසේම මෙම රෝගයට භාවිතා වන ඇතැම් බෙහෙත් වර්ග මගිනුත් කාන්තාවන්ගේ දරුවන් සෑදීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇතිකරන්වා. එසේම ගැබ් ගැනීමත් කාලීණ වකුගඩු රෝගයෙන් පෙලෙන කාන්තාවකට අවධානම් සාධකයක්. ඇත්තෙන්ම කාලීණ වකුගඩු රෝගය ගර්භනී මවට මෙන්ම ඇගේ කුසතුල සිටින දරුවාටත් අහිතකර වන අතර එවැනි මව් වරුන් නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් වෙනවා.

Saturday, March 24, 2018

සංසර්ගය මගින් ක්ෂය රෝගය පැතිරීම සත්‍යයක්ද මිත්‍යාවක්ද? TB through sex with an infected partner; is it true or myth?

සංසර්ගය මගින් ක්ෂය රෝගය පැතිරීම සත්‍යයක්ද මිත්‍යාවක්ද?



ක්ෂය රෝගය කියල කියන්නෙ බෝවෙන රෝගයක්. ක්ෂය රෝගය පැතිරයාම ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ වාතය මගින්. රෝගී පුද්ගලයෙකු ස්පර්ෂකල පමණින්, ඔහු/ඇය සමඟ ආහාර හෝ වෙනත් උපකර්ණ හෝ ද්‍රව්‍ය හුවමාරුකරගත් පමණින් මෙම රෝගය බෝවීම සිදු වෙන්නේ නෑ. එයට හේතුව තමා ක්ෂය රෝග කාරක බැක්ටීරියාවට සාමාන්‍ය වායු ගෝලයේ හෝ පරිසරයේ නොනැසී සිටීමට හැකියාවක් නොමැති වීම. කෙසේ නමුත් අද අපි හොයල බලන්න යන්නේ රෝගී පුද්ගලයෙකු සමඟ හාදු හුවමාරු කර ගතහොත් එහෙම නැත්නම් ඔහු/ඇය සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් මෙම රෝගය බෝවීමේ අවදානමක් තියෙනවද නැද්ද කියන කාරණාවයි.

ක්ෂය රෝග වර්ග
ඉහත දක්වල තියෙන ප්‍රධාන කාරණාවට එන්න කලින් අපි ඉස්සෙල්ලාම හොයල බලමු ක්ෂය රෝගය බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක මොනවද කියල. මේ වර්ග දෙකෙන් එක වර්ගයක් විතරයි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නෙ. ඒ නිසයි ඒ වර්ග දෙක ගැන අවබෝධයක් ගන්න එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නෙ.

1. ගුප්ත ක්ෂය රෝගය
මේ වර්ගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නෙ නෑ. මෙතනදි වෙන්නෙ ක්ෂය රෝග කාරකය කෙනෙකුගෙ සිරුර ඇතුලෙ තියනව උනාත් එයාගෙ ප්‍රතිශක්තීකරණ පද්දතිය මගින් එය තවදුරටත් පැතිර යාම වලක්වා ගැනීම එහෙම නැත්නම් පාලනය කිරීම. නමුත් මෙම තත්වය වෙනස් වී, ඔහු හෝ ඇය ක්ෂය රෝගියෙකු වීමට හා රෝග වාහකයෙකු වීමට අවධානමක් නැතුවා නොවෙයි. ඔහුගේ/ඇයගේ ප්‍රතිශක්තීකරණ පද්දතිය යම්කිසි හේතුවක් නිසා දුර්වල උවහොත් ක්ෂය රෝග කාරකයා ගුප්ත තත්වයෙන් මිදී කරලියට ඒම සිදුවිය හැකියි.

2.සක්‍රීය ක්ෂය රෝගය
ක්ෂය රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවන්නේ මෙම තත්වයේදීයි. එසේම ක්ෂය රෝග කාරකය සහිත පුද්ගලයා ක්ෂය රෝගයට අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් මෙම තත්වයේදී සිදු වෙනවා. මෙහිදී ඇතිවිය හැකි සුලබතම රෝග ලක්ෂණයන් ලෙස,

  •  රාත්‍රී කාලයේදී අධිකව දහඩිය දැමීම,
  • කැස්ස,
  • අධික තෙහෙට්ටුව හෝ හතිය,
  • කෙටි කාලයක් ඇතුලත විශාල ලෙස සිරුරේ බර අඩු වීම හා
  • මද උණ දැක්විය හැකියි.
මෙවැනි ලක්ෂණ දීර්ඝකාලයක් පවතින විටක වෛද්‍ය උපදෙස් කරා යොමුවීම ඉතා වැදගත් වෙනවා.

කෙසේ නමුත් ක්ෂය රෝගය වඩාත්ම අවධානම් වන්නේ හා ඉක්මනින්ම පැතිර යන්නේ රොගියාගේ පෙනහළු ටියුබකියුලෝසිස් බැක්ටීරියාව (ක්ෂය රෝග කාරක බැක්ටීරියාව) මගින් ආසාදනය වී ඇතිවිටදීයි. මෙම තත්වය Pulmonary Tuberculosis  හෝ Lung TB ලෙසට හඳුන්වනු ලබනවා.

ක්ෂය රෝගය, හාදු හුවමාරුවකදී පැතිර යා හැකිද?
ඇත්තෙනම එය සිදුවිය හැකියි. මෙහිදී වඩාත්ම අවධානම් රෝග වාහකයන් නැතිනම් රෝග පතුරුවන්නන් වන්නේ පෙණහළු ටී.බී. ආසාදිත පුද්ගලයන්. ඔවුන්ගේ ඛෙටයේ නැතිනම් කෙළවල ක්ෂය රෝග කාරක බැක්ටීරියාවන් තිබීමේ ඉතා විශාල අවධානමක් තිබෙනවා.

ක්ෂය රෝගය, ලිංගික එක්වීමකින් පැතිර යා හැකිද?
මෙයත් සිදුවිය හැකි දෙයක් නමුත් ඒ ඉතාමත්ම කලාතුරකින් බව මතක තබා ගන්න. ක්ෂය රෝග කාරක බැක්ටීරියාව මගින් ප්‍රජනක ඉන්ද්‍රීයන් ආසාදනය වී ඇති රෝගීන් හරහා මෙම ක්‍රමයට ක්ෂය රෝගය පැතිර යාමේ  අවධානමක් පවතිනවා. ප්‍රජනක ඉන්ද්‍රීයන්ට ක්ෂය රෝගය පැතිර යාම බොහෝවිට සිදු වන්නේ රුධිර සංසරණ පද්දතිය හෝ වසා පද්දතිය මගින්. එසේම පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතා පහල ගොස් ඇති අවස්ථාවලදී උදා-පිළිකා, දියවැඩියාව, ඒඩ්ස් මෙලෙස ජනනේන්ද්‍රයන්ට ක්ෂය රෝගය ආසාධනය ඇතිවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා.

ජනනේන්ද්‍රීය ටී.බී. වලදී පෙන්වන මූලික රෝග ලක්ෂණ
  • රහස් ප්‍රදේශය අවට ඇතිවන වණ හෝ කුශ්ඨ
  • අසාමාන්‍ය ස්‍රාවයන් වෑහීම

ප්‍රථිකාර ලබාගන්නා අතරතුරදීත් ජනනේන්ද්‍රීය ටී.බී. පැතිරීම සිදුවිය හැකිද?

සාමාන්‍යයෙන් පෙනහළු වලට ඇතිවන ක්ෂය රෝගය සති 2-3 කාලයකින් ප්‍රථිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව අතට පත් කරන්න පුලුවන්. සමහර විට මේ සඳහා සති 4ක් පමණ කාලයක් ගත වෙන්නත් පුලුවන්. කෙසේ නමුත් පෙණහළු වලට ඇතිවන ක්ෂය රෝග තත්වය හැරුණු කොට අනිකුත් සියලූම ක්ෂය රෝග තත්වයන් සුව කිරීම තරමක් අපහසුයි. මෙම තත්වය ජනනේන්ද්‍රයන්ට ඇතිවන ක්ෂය රෝගයටත් පොදුයි. එනිසා ප්‍රථිකාර ගන්නා අතරවාරයේත් ලිංගික එක්වීමක් මගින් ජනනේද්‍රීය ටී.බී. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවිය හැකියි.

ක්ෂය රෝගය පිළිබඳ පැතිර ඇති ප්‍රකට මිත්‍යාවන්
  • ක්ෂය රෝගය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජානමය වශයෙන් උරුමවන රෝගයකි
  • ක්ෂය රෝගය ජීවිත කාලයේදී එක් වරක් පමණක් වැළඳෙන රෝගයකි
  • ක්ෂය රෝගය සුව කල නොහැක
  • ක්ෂය රෝගය වැළඳුන පුද්ගලයන් ප්‍රථිකාර ගන්නා අතරතුරදීත් මාස හයක්වත් අන්‍යයන්ගෙන් වෙන්කර තැබිය යුතුය

Wednesday, March 21, 2018

සදාකාලික තරුණ පෙනුම රැකගැනීමට ඔබ දැනගත යුතුම රහස් මෙන්න .... how to keep your young look forever; top secrets revealed...

සදාකාලික තරුණ පෙනුම රැකගැනීමට ඔබ දැනගත යුතුම රහස් මෙන්න .... how to keep your young look forever; top secrets revealed...


අපේ සමේ රැලි වැටීම වලක්වා ගැනීමට හා සුමුදුව, තරුණ පෙනුමින් යුතුව පවත්වාගැනීමට වැදගත්ම සාධකය වන්නේ "කොලැගන්" ලෙසින් හඳුන්වන ප්‍රෝටීනමය තන්තු විශේෂයක්. සමේ ඇදෙනසුලුබව, අඛණ්ඩතාවය වගේම තදබවත් පවත්වාගෙන යන්නේ කොලැගන් මගිනි. මේවා අපේ සිරුරේ තිබෙන සෛල මගින් නිපදවන අතර වයසට යාමත් සමඟ සෛල මගින් කොලැගන් නිපදවීමේ කාර්‍යක්ෂමතාව අඩු වෙනවා. එසේම වැරදි පුරුදු හා හිරු එලියට නිරාවරණය වීම කියන කාරණා නිසා සමේ දැනටම පවතින කොලැගන් විනාශ වීමත් සිදු වෙනවා. මෙන්න මේ නිසා අපේ සම රැලි වැටීම හා එල්ලා වැටීම සිදු වෙනවා.

කෙසේ නමුත්, සමේ පවතින කොලැගන් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමටත්, කොලැගන් නිශ්පාදනය වැඩි දියුණු කිරීමටත් අනුගමනය කලහැකි යම් යම් දේ තිබෙනවා. ඒවායින් වඩාත් වැදගත් හා පලදායීකමින් වැඩිම ක්‍රම කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

1.සී විටමින් පරිභෝජනය වැඩි කිරීම
පෝෂණය පිළිබඳ ඇමරිකානු ජර්නලයේ මෑතකදී පලවූ සමීක්ෂණ වාර්ථාවකට අනුව, වයස අවුරුදු 40 ඉක්මවූ විටමින් සී වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන කාන්තාවන්ගේ සම රැලි වැටීම, එසේ නොකරන කාන්තාවන්ට වඩා ඉතා අඩු මට්ටමක පවතිනවා. විටමින් සී, කොලැගන් ප්‍රෝටීනය නිපදවීමට අත්‍යාවශ්‍ය සාධකයක්ද වෙනවා. තද කොළ පැහැති එලවළු, ගෝවා, දොඩම් වගේම තක්කාලිත් විටමින් සී බහුල ආහාර වර්ග වෙනවා. මීට අමතරව, විටමින් සී අඩංගු ආලේපන වර්ග භාවිතයත් සම රැලි වැටීම වලක්වා ගැනීමට වැදගත් වෙනවා. සී විටමිනය එවැනි ආලේපන වල අඩංගු කර ඇත්තේ "LAscorbic acid, ascorbyl palmitate" හෝ "ascorbyl phosphate" යන ආකාර වලින්. (යම් ආලේපනයක අඩංගු ද්‍රව්‍ය අතරට මේවායින් එකක් සඳහන් කර තිබේනම්, ඉන් කියවෙන්නේ එම ආලේපනයේ සී විටමිනය අඩංගු බවයි.) 



2.දුම් පානය අතහැර දැමීම
දුම් පානය නිසා සිරුර තුල MMPs නැතිනම් matrix metalloproteinases එන්සයිමය නිපදවෙනවා. මෙම එන්සයිමය මගින් කොලැගන් විනාශ කර දමනවා. දුම් පානය කරන්නන්ගේ සම පහසුවෙන් එල්ලා හැලීමකට ලක් වන්නේ මේ හේතුව නිසා බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

3.හිරු එලියෙන් ආරක්ෂා වීම
අධික ලෙස හිරු එලියට නිරාවරණය වීම,හමේ ඇති කොලැගන් සංචිත විනාශවීමට ප්‍රධාන හේතුවක්. විශේෂයෙන් පාරජංබුල කිරණ මගින් සමේ ඉතා ඇතුලත ස්ථරවල අඩංගු කොලැගන් සංචිත පවා බිඳ හෙලනවා. එනිසා හිරු එළියට නිරාවරණය වීමේදී සුදුසු ආලේපන වර්ගයක් (sun cream) භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා.

4.පැණිරස ආහාර අවම කිරීම
අධික ලෙස සීනි පරිභෝජනය කිරීම රුවැති පෙනුමක් පවත්වාගැනීමට ඇති ප්‍රධානතම බාධාවකි. මෙමගින් සිරුර වයසට යාමේ යාන්ත්‍රණය වේගවත් කරන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා. අතිරේකව සිරුරට ලැබෙන ග්ලූකෝස්, සිරුරේ ඇති ලිපිඩ, නියුක්ලෙයික් අම්ල හා කොලැගන් වැනි ප්‍රෝටීන සමඟ බද්ද වීම සිදුවෙනවා. මෙම ක්‍රියාවලිය නිසා ඇතිවෙන අතුරුඵල (advanced glycation end products) මගින් සිරුරේ සිදුවන සාමාන්‍ය වයසට යාමේ යාන්ත්‍රණය වේගවත් කරනවා.

5.ප්‍රථිඔක්ෂිකාරකවල සහය ලබා ගැනීම (Antioxidants)
මුක්ත ඛණ්ඩක (free radicals) වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ප්‍රථිඔක්ෂිකාරකවලට හැකියාව තිබෙනවා. හානියට පත් වූ සමේ සෛල නිසා මුක්ත ඛණ්ඩක ඇතිවෙනවා. මේවා මගින් සමේ නීරෝගී සෛලවල ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා. එම ක්‍රියාවලිය නිසා සමේ නීරෝගී සෛලද හානියට පත්වීම සිදු වෙනවා.මෙම සෛල හානිය නිසා සමේ ඇතිවන එන්සෛයිමයක් මගින් කොලැගන් තන්තු බිඳ වැටීමද සිදු වෙනවා. ප්‍රථිඔක්ෂිකාරක වලට පුලුවන් කම තියෙනවා මේ හානිකර මුක්ත ඛණ්ඩක වල ක්‍රියාකාරීත්වය නවතා දමන්නට; එමගින් සිරුර වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරන්නට. ග්‍රීන් ටී වල වගේම කොළ පැහැති පලාවර්ගවල උදා:-නිවිති ප්‍රථිඔක්ෂිකාරක අඩංගුව පවතිනවා. ඉතින් මේවා පරිභෝජනයට ගැනීම මගින් සම වයසට යන එක පාලනය කරන්න අපට පුලුවන් වෙනවා.

6.ශාක ප්‍රෝටීන ආහාරයට එක් කරගන්න.
ආවර්ථවාහරනයත් සමඟ සම වයසට යාම වේගවත් වීම කාන්තාවන්ට තිබෙන සුලබ ප්‍රශ්ණයක්. මේකට හේතුව තමා ආවර්ථවාහරනයත් සමඟ සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම පහල යාම. මේ නැති වූ ඊස්ට්‍රජන් නැවත සිරුරට ලබා දීමට ශාක ප්‍රෝටීන වලට හැකියාව තිබෙනවා.

7.සම්භාහනය
දිනපතා සුලු වේලාවක් මුහුණ සම්භාහනය කිරීම මගින් කොලැගන් නිශ්පාදනය ඉහල දැමිය හැකිබව මේ වනවිට සොයාගෙන තිබෙනවා. එසේම සම්භාහනය නිසා මුහුණට වඩාත් පිරිණු පෙනුමක් හා පැහැපත් බවක් ඇති වෙනවා. 



Tuesday, February 20, 2018

බොරු කියනබව මූණෙන් අඳුනා ගන්නේ කෙසේද? නොවරදින සලකුණු 12ක් මෙන්න...How to detect lies...12 facial signs..

බොරු කියනබව මූණෙන් අඳුනා ගන්නේ කෙසේද? නොවරදින සලකුණු 12ක් මෙන්න...

මාර්ක් බවුටන් කියන්නෙ ඇමරිකානු FBI ආයතනයේ හිටපු, වසර 30ක පලපුරුද්දක් සහිත රහස් පරීක්ෂකවරයෙක්. මෙතුමා බොරු කියන්නෙකු හඳුනා ගන්නේ කෙසෙද යන්න පිළිබඳ පොතක් පල කර තියෙනවා. මෙතුමා FBI ආයතයේ සේවය කරන සමයේදී, විවිධ අපරාධකරුවන් හඳුනා ගැනීමට මේ පොතේ පළවෙන උපක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා.

අපරාධකරුවන් හඳුනා ගැනීමට කෙසේ වෙතත්, සාමන්‍ය ජීවිතයේදී අපට හමුවෙන අය අපට බොරු කරන්වා ද නැදද යන්න හඳුනා ගැනීමටවත් සමත් වෙන්න පුලුවන්නම් ඒක අපිට හරිම වැදගත්.

මේකෙදී ගොඩක්ම වැදගත් වෙන්නේ මුහුණෙන් පලවෙන හැඟීම් ලඟින් නිරීක්ෂණය කිරීමයි. බොරු කියනකොට සිදුවෙන මේ වෙනස්කම් වලට බොරු කියන්නා තුල ඇතිවෙන චකිතය, සිරුරේ ඇතිවන විවිධ රසායනික වෙනස්කම් හා ඊට සමගාමීව ඇතිවෙන භෞතික වෙනස්කම් බලපානවා කියලයි මාර්ක් මහතා පවසන්නේ.

මෙතුමාගේ අදහස් අතරින් භාවිතයට පහසුම හා වැදගත්ම නිරීක්ෂණයන් 12ක් පහත දක්වා ඇත.

ඇස් දෙපසට චලනය වීම
මේකෙන් කියවෙන්නෙ ඔබේ කතා බහෙන් ඔහු හෝ ඇය අපහසුතාවයට පත්වූ බව හෝ ඔහුට හෝ ඇයට තවදුරටත් ඔබ හා කතාබහේ නිරත වීම අනවශ්‍ය බවයි. ඔහු හෝ ඇය ඔබෙන් මිදීමට මාර්ගයක් හොයනබව මේකෙන් කියවෙනවා.

ඇසිපිය හෙලීම වේගවත් වීම
එක දිගට හතර පස් වතාවක් ඇස් පිය හෙලනවානම් ඒකෙන් කියවෙන්නේ ඔහු හෝ ඇය තමා පවසන බොරුවෙන් අපහසුතාවයකට පත්ව ඇති බවයි.

තප්පරයකට වඩා ඇස් වසාගෙන සිටීම
සාමාන්‍යයෙන් එක් ඇසිපිය සැලීමකට ගතවන කාලය තප්පර0.4ක් පමණ අනවා. යමෙක් වරින් වර තප්පරයක් හෝ දෙකක් පමණ කාලයක් ඇස් වසාගෙන සිටීනම් ඔහු හෝ ඇය ඔබට පවසන්නේ බොරුවක් වීමට ඉතා වැඩි ඉඩ කඩක් පවතිනවා.

බලා සිටන දිශාව - ඉහල හා දකුණ
ඔහු හෝ ඇය දකුණත් කරුවෙක් නම්, ඔබ ඔහු හෝ ඇය දුටු දෙයක් ගැන විමසාසිටි විටකදී ඉහල හා වම් පස දෙස බලා සිටීනම් ඇත්තෙන්ම ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ දුටු දේ සිහියට නඟා ගැනීමටයි. නමුත් ඉහල හා දකුණු පස දෙස බලා සිටීනම් ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ දුටු දේ පිළිබඳ බොරුවක් ගෙතීමටයි.
 වමත් කරුවෙක් නම් මේ ප්‍රතික්‍රියාව මීට ප්‍රතිවිරුද්ද අතට සිදුවනු ඇත.

බලා සිටින දිසාව - කෙලින්ම දකුණ
ඔබ ඇසුවේ ඔහු හෝ ඇය ඇසූ දෙයක් පිළිබඳවනම්, ඔහු හෝ ඇය දකුණත් කරුවෙක් නම් , ඔහු ඇසූ දේ මතකයට නඟා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ඇස වම් කණ දිසාවට ගමන් කරයි. බොරුවක් ගෙතීමට උත්සාහ කිරීමේදී ඇස් ගමන් කරනු ඇත්තේ දකුණු කණ දිසාවටයි.

බලා සිටන දිසාව - පහලට හා දකුණට
ඔබ ඇසූ දෙය යම් ගන්දයකට හෝ ස්පර්ශයකට හෝ සංවේදනයකට අදාල දෙයක් නම්, බොරුවක් කියන දකුණත් කරුවෙකුගේ බැල්ම පහලට හා දකුණට යොමුව පවතිනු ඇත.

ව්‍යාජ සිනහව
බොරු කියන අයෙකුගේ සිනහව කෙනෙකුගේ දෙනෙත් සමඟ කිසිඳු බැඳීමක් නොදක්වයි. අව්‍යාජව සිනහසෙනවිට ඔහුගේ/ඇයගේ ඇස් වටා ඇති මාංශ පේශී මද වශයෙන් රැළි ගැසේ.

මුහුණ කැසීම
බොරු කියනවිට සිරුරේ ඇතිවන රසායනික වෙනස්කම් නිසා මුහුණ කසයි. එනිසා බොරු කියන්නා වරින් වර සිය ඇඟිලි වලින් මුහුණ කැසීමට පෙලබේ.

තදින් වසා ගත් දෙතොල
බොරු කියනවිට කටේ කෙළ සිඳී යාමක් සිදුවේ. එනිසා බොරු කියන්නා තොල් තදකර පියා ගැනීමට පෙළබේ. තදකර වසාගත් දෙතොල සුදු මැලි වී තිබේනම් ඔහු/ඇය පවසන්නේ බොරුවක් වීමට ඉතා විශාල ඉඩකඩක් පවතී.

අධික ලෙස දාඩිය දැමීම
බොරු කීමේදී බොහෝ විට අධිකව දහඩිය ගැලීමක් සිදුවේ. මේවා බොහෝවිට නළලේ, බෙල්ල පිටිපස හා/හෝ කම්මුල්වල දැකිය හැක. එසේම බොරු කියන තැනැත්තා නිතර නිතර මෙම දහඩිය පිහදැමීමක් සිදු කරනු ඇත.

මුහුණ රතු වීම
බොරු කීමේදී මුහුණ රතු වීම බොහෝවිට කාන්තාවන්ගෙන් දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙහිදී සිදුවන්නේ ඇඩ්‍රිනලීන් ස්‍රාවය අධික වීම නිසා ඊට ස්නායු පද්දතිය ප්‍රතිචාර දැක්වීමකි.

හිස දෙපසට හෙලවීම
මෙයද බොරු කියන තැනැත්තන් දක්වන ප්‍රතික්‍රියාවකි. මෙහිදී ඔහු/ඇය තමන් පවසන දෙයට එකඟ නොවන බවක් දක්වා සිටී. සත්‍ය පවසන්නෙකු තම හිස ඉහලට හා පහලට සෙලවීම මඟින් තමන් පවසන දෙයට එකඟතාව පළකරනු ඇත.

මේ සෑම ලක්ෂණයක්ම සෑම තැනැත්තෙකුගෙන්ම හා සෑම විටම දැකිය හැකි ලක්ෂණ නොවේ. නමුත් කිහිපයක් හෝ පෙන්වන්නේ නම් ඔහු/ඇය පවසන්නේ බොරුවක් බවට ඔබට පහසුවෙන් නිගමනය කල හැක.



Monday, January 22, 2018

ඔබ කාපල් ටනල් සින්ඩ්‍රෝමය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි? keep your eyes open about Carpal Tunnel Syndrome!

කාපල් ටනල් සින්ඩ්‍රෝමය පිළිබඳ සියලු තතු මෙන්න..


කාපල් ටනල් යන්න ඔබේ අතේ, අත්ල පැත්තේ, මැණික් කටු සංදියේ පවතින අස්ථි හා බන්ධනීන් (bones and ligaments) එකතුවී ගොඩ නැගුන පටු උමගක් හෝ එසේත් නැත්නම් පටු මගක් ලෙසට සරලව දැක්විය හැකියි. 

මාපටඟිල්ලේ හා පළමු ඇඟිලි තුනෙහි සංවේදනයන් හා චලන පාලනය කරන මධ්‍ය ස්නායුව වැටී ඇත්තේ මේ පටු මග ඔස්සේයි. මීට අමතරව මාපටඟිල්ලේ හා අනිකුත් ඇඟිලිවල ඛණ්ඩරාවන් හෙවත් බලනහර (tendons) මේ හරහා වැටී ඇත.
මෙය තෙරපීමකට හෝ පීඩනයකට ලක් වීමෙන් අතෙහි ඇතිවන හිරිය, වේදනාව හෝ අතෙහි ක්‍රියාකාරීත්වය දුර්වල වීම කාපල් ටනල් සින්ඩ්‍රෝමය ලෙස කෙටියෙන් දැක්විය හැකියි.


මූලික ලක්ෂණ


මෙහි ලක්ෂණ වර්ධනය වන්නේ ඉතා සෙමිනි. මුලින් රාත්‍රී කාලයේදී හෝ අවදි වීමේදී පමණක් මූලික ලක්ෂණ දක්නට ලැබෙනවා විය හැක. එහිදී එය ඉදිකටු තුඩකින් අනිනවාක් වැනි තත්වයකට පමණක් සීමා වීම බොහෝවිට සිදු වේ. දිවා කාලයේදී යමක් අතින් ග්‍රහණය කරගැනීමේදී (උදා-ඔබේ ජංගම දුරකතනය) හෝ රිය ධාවනය වැනි ක්‍රියාකාරකමකදී අතේ වේදනාවක් හෝ හිරි වැටීමක් දක්වා මෙම තත්වය ක්‍රමිකව වර්ධනය වීම සිදුවිය හැක. ඇඟිලි සෙලවීමෙන් හෝ ගසා දැමීමෙන් මෙම තත්වය පහව යාම මූලික අවධියේදී සිදුවේ.

ක්‍රමිකව වර්ධනය වීමෙදී,



  1. මාපටඟිල්ලේ හා පළමු ඇඟිලි දෙකෙහි ක්‍රියාකාරීත්වය දුර්වල වේ. යමක් ග්‍රහණය කරගැනීම අපහසු වේ. නොදැනුවත්වම යම් යම් දේ ඔබ අතින් ගිලිහීයාම සිදුවිය හැකි අතර  කමිසයක බොත්තම් දැමීම වැනි ක්‍රියාවන් තනිව කර ගැනීම අපහසුවීමද සිදු වේ.
  2. අත හිරි වැටීම
  3. ඇඟිලි ඉදිමී ඇතිවාක්සේ දැනීම. (ඉදිමීමක් දැකිය හැකි නොවුනත්)
  4. උණුසුම හා ශීතල වෙන්කර හඳුනා ගැනීම අපහසු වීම (අත්ලට හා ඇඟිලි වලට)

කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවන්නේ කෙසේද?


මේ සඳහා නිශ්චිත හේතුවක් මේ දක්වා හඳුනාගෙන නොමැත. මෙය ඉතා පටු මගක් නිසා ඔනෑම හේතුවක් නිසා ඇතිවන ඉදිමුමකදී හෝ ප්‍රධාහයකදී මද්‍ය ස්නායුව තෙරපීමකට ලක් වීම සිදුවිය හැක.මෙම තත්වය අත් දෙකටම එකවර ඇතිවිය හැකිනමුත් බොහෝවිට සිදුවන්නේ හුරු අත මුලින් මෙම තත්වයට ගොදුරු වීමයි.

ඇතිවිය හැක්කේ කාටද?

කාපල් ටනල් සින්ඩ්‍රෝමය කාන්තාවන්ට ඇතිවීමේ අවධානම පිරිමින්ට වඩා තුන් ගුණයකින් වැඩිය.

  • ඔබට දියවැඩියාව, වාතරක්තය (gout), රුමැටොයිඩ් පර්වාදාහය (rheumatoid arthritis), මන්ධතයිරොයිඩතාවය (hypothyroidism) වැළඳී ඇත්නම් ,
  • ඔබ ගර්භනී මවක්නම්,
  • ඔබේ අතේ මැණික් කටුව ආසන්නයේ අස්ථි බිඳුමක් සිදු වී ඇත්නම් හෝ මැණික් කටුව උලුක්කු වී ඇත්නම් ඔබට කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවධානම අනිකුත් අයට වඩා කිහිප ගුණයකින් වැඩිය.

යතුරු ලියනය හෝ පරිඝනකය අධිකව භාවිතා කිරීම කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවධානම වැඩි කරන බවට මතයක් ඇතත් එය සත්‍ය නොවන බවට මේ වනවිට සොයාගෙන ඇත. නමුත් කම්පනයවන අත්යන්ත්‍ර භාවිතා කරන්නන්ට මෙම තත්වය ඇති වීමට අධික අවධානමක් ඇත.

ඔබ ප්‍රතිකාර ගතයුත්තේ ඇයි?


ප්‍රතිකාර නොගෙන සිටීම නිසා රෝග ලක්ෂණ ස්ථාවර වීම හා වර්ධනය වීම සිදුවේ. (මුල් අවධියේදී රෝග ලක්ෂණ මතුවන්නේ වරින්වරය). වේදනාව අත දිගේ ඉහලට, උරහිස දක්වාම වර්ධනය වීම සිදුවිය හැක. ඊට අමතරව මෙම තත්වය දීර්ඝකාලීනව පැවතීම අතේ මාපටඟිල්ල ආශ්‍රිත මාංශපේශී ක්ෂයවීයාමට (atrophy) හේතුවිය හැක. මේ තත්වය දක්වා රෝගය උත්සන්න උවහොත්, අතේ ක්‍රියාකාරීත්වය, ශක්තිය හා සංවේදනයන් යථාතත්වයට පත් කිරීම ඉතාමත්ම අපහසුය.

සමාන ලක්ෂණ සහිත වෙනත් රෝග තත්ව.
  • අත ආශ්‍රිතව සිදුවන අනතුරු
  • ආතරයිටිස්
  • ස්නායුමය ආබාධ උදා:-diabetic neuropathy

සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට නියමිත පරීක්ෂණ මගින් මෙම රෝග තත්ව වෙන්කර හඳුනාගත හැක.

භාවිතාකරන පරීක්ෂණ.


Tinel test - මෙහිදී මධ්‍ය ස්නායුවට තට්ටු කිරීම මගින් (tapping) ඇඟිලිවල සංවේදනයන්ගේ සිදුවන වෙනස්කම් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරයි.

Phalen test - මෙහිදී ඔබේ දෑතේ පිටිඅත්ලයන් එකිනෙක තෙරපාගෙන මිනිත්තුවක් පමණ සිටීමට වෛද්‍යවරයා විසින් ඔබට පවසනු ඇත. එමගින් අතේ හිරිවැටීමක් හෝ වෙනත් සංවෙදනයන්ගේ වෙනසක් සිදුවනු ඇත්දැයි යන්න වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරයි.

ස්නායු සන්නයන පරීක්ෂාව (nerve conduction study)
මෙහිදී අතේ හා මැණික් කටුව මත සවි කරන ඉලෙක්ට්‍රෝඩ කීපයක් මගින් සියුම් විද්‍යුත් කම්පනයන් ලබා දෙන අතර, එමගින්, මද්‍ය ස්නායුව ආවේග සම්ප්‍රේශණය කරන ආකාරය පරීක්ෂාකෙරේ.

ඉලෙක්ට්‍රොමයෝග්‍රැපි පරීක්ෂාව
මෙහීදී පේශි තුලට සියුම් ඉදිකටුවක් ඇතුල්කරනු ලැබේ. එය උපයෝගීකොටගෙන පෙශියේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයන් මැන බලයි. මෙහි ප්‍රථිපල මගින්ද මධ්‍ය ස්නායුවට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ නිගමනය කිරීමට වෛද්‍යවරයෙකුට හැකියාව ඇත.

සිදුකරන ප්‍රථිකාර

කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීමට මූලිකව බලපෑහැකි හේතු උදා:-දියවැඩියාව, ආතරයිටිස් ඉවත්කිරීම හෝ ඒවාට නිසි ප්‍රතිකාර ලබාදීම මුලින්ම කල යුතුය. මැණික් කටුවට හා අතට විවේකය ලබාදීමද මෙහිදී ඉතා වැදගත් වේ. අතේ හා මැණික් කටුවේ ක්‍රියාකාරීත්වයන් හා චලන සීමා කලයුතුය.

වේදනාව අවම කිරීමට අවුෂධ ප්‍රතිකාර (Non-steroidal anti-inflammatory drugs) උදා:-බෲෆෙන් (ibuprofen) හා අයිස් යෙදවුම් භාවිතය (cold compress) සිදුකල හැක.

රෝග ලක්ෂණ අධිකනම් ස්ටීරොයිඩ් අවුෂධ මුඛයෙන් හෝ නික්ෂේපණ මගින් ලබා දීම වෛද්‍ය නිර්දේශය විය හැක. එමගින්  මධ්‍ය ස්නායුව අවට ප්‍රධාහ තත්වයන් ඉවත්කර රෝග ලක්ෂණ අවම කිරීම සිදුවේ. නමුත් එය තාවකාලික සහනයක් පමණක් වීමටද ඉඩ ඇත. මීට අමතරව ඉදිමුම අවම කිරීමට මුත්‍රවර්ධක අවුෂධ ( diuretics) හා විටමින් බී6 ලබා දීමද සිදුකල හැක.


මීට අමතරව ස්ථානීය නිර්වින්දක අවුෂධ උදා:-ලිග්නොකේන් මගින්ද රෝග ලක්ෂණ පාලනය කරගත හැක.

ශල්‍ය ප්‍රතිකාර

මේ සඳහා භාවිතා කෙරෙන්නේ ඉතා සරල ශල්‍ය කර්මයක් බැවින් ශල්‍යයට පෙර සිහිනැති කිරීමක් අවශ්‍යය වන්නේ නැත. කාපල් මගට ඉහලින් ඇති බන්ධනීන් කපා පීඩනය ඉවත් කිරීම පමනක් මෙහිදී සිදු වේ. එනිසා ශල්‍යයෙන් අනතුරුව කාපල් මගට වැඩි ඉඩකඩක් ලැබේ. මෙම ශල්‍යකර්මය එන්ඩොස්කෝපයක් භාවිතයෙන්ද සිදුකල හැක. එහිදී ඉතා කුඩා කැපුමක් මගින් ඉතා කුඩා කැමරාවක් ඇතුල් කර, ශල්‍යකර්මය සිදුකරනු ලැබේ.

ශල්‍යයෙන් අනතුරුව,

ඉදිමුමක් හෝ තද ගතියක් දැකිය හැකිවීම සාමාන්‍යයෙන් සිදුවේ. මෙම තත්වය මඟහැර ගැනීමට, අත හදවත මට්ටමට වඩා ඉහලින් රඳවා ගැනීම හා නිතර නිතර ඇඟිලි සෙලවීම කල යුතුය. අත හා මැණික් කටුව ප්‍රදේශය විවේකීව තබා ගැනීමද ඉතා වැදගත් වේ. වේදනාව හා ක්‍රියාකාරිත්වයේ දුර්වලතා මාස දෙකක පමණ කාලයක් තුල ක්‍රමයෙන් මඟ හැරී යයි. කෙසේ නමුත් සම්පූර්ණ සුවය ලැබීමට ශල්‍ය කර්මය කල දිනයේ සිට මාස හයක පමණ කාලයක් ගතවිය හැක.

ව්‍යායාම

රෝග ලක්ෂණ පහව ගිය පසු අත හා මැණික් කටුව ප්‍රදේශය ශක්තිමත් කිරීමේ ව්‍යායාම ආරම්භ කල යුතුය. එසේම රෝගය නැවත ඇතිවීම වලක්වා ගැනීමට අතේ හා මැණික් කටුවේ ඉරියව් නිවරදිව පවත්වාගන්නා ආකාරයද ඉගෙන ගත යුතුය. මේ සඳහා වෘත්තීය චිකිත්සකයකුගේ සහාය ලබා ගත හැක.

මෙම රෝගය සඳහා කටු චිකිත්සාව වැනි වෙනත් ප්‍රතිකාර ක්‍රම භාවිතාකල හැකිබවට කියවෙතත් ඒ පිලිබඳව නිවරදිම තොරතුරු වාර්තා වී නොමැත. කෙසේ නමුත් යෝග ව්‍යායාම මගින් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකිබවට නම් සමීක්ෂණ මගින් තහවුරු කර ඇත. මෙහිදී සුදුසුකම් ලත් හා පුහුණු යෝගී ආචාර්‍යවරයෙක්ගෙන් පමණක් උපදෙස් ලබා ගැනීමට වග බලා ගැනීම ඉතා වැදගත්ය. 


කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇතිවීම වලක්වාගැනීමට නම්,

  • නිවැරදි ඉරියව් භාවිතා කරන්න
  • නිවැරදි උපකරණ භාවිතා කරන්න
  • අත, ඇඟිලි හා මැණික් කටු සංදිය නැමීම හා දිග හැරීම නිතර නිතර සිදු කරන්න
  • වැඩ කිරීමේදී වරින් වර කෙටි විවේකයන් ලබා ගන්න.

Tuesday, January 9, 2018

මාරාන්තික පෙනහලු පිළිකාව සාර්ථකව ජය ගනිමු!! fighting lung cancer!!



පිළිකා අතර වැඩිම මරණ ප්‍රමාණයකට වගකිවයුතු පිළිකාව ලෙස සැලකෙන්නේ පෙණහලු පිළිකාවයි. පෙනහලු පිළිකාව ඇතිකිරීමේ ප්‍රධාන හේතුකාරකය ලෙසට සැලකෙන්නේ දුම් පානයයි. පෙනහලු පිළිකාවලින් 9/10 කටම වගකිවයුත්තා දුම් පානයයි. ඊට අමතරව දූෂිත හා විකිරණශීලී වායූන් නිසාද පෙනහලු පිළිකා ඇති කරයි.

දුම්පානය හානිකර වන්නේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කර ගනිමු.


දුම් වැටිය පිළිකාකාරක රසායනයන් විශාල ප්‍රමාණයක් දරා සිටී. ඊට අමතරව දුම් පානය මගින් පෙනහලුවල ස්වාභාවික ආරක්ෂණ පද්දතිය බිඳ හෙලීමද සිදුකරයි. එනම් වා මගෙහි පවතින සියුම් රෝම විනාශ කරයි. පෙනහලු වලට ඇතුලුවන හානිකර රසායනයන්, බැක්ටීරියාවන් හා වයිරසයන් ඉවතට තල්ලුකර දමන්නේ මෙම සියුම් රෝම මගිනි. දුම් පානය මෙම ක්‍රියාවලිය බිඳ හෙලීම නිසා පිළිකාකාරක රසායනයන් පෙනහලුතුල වඩාත් පහසුවෙන් තැන්පත්වීම සිදු වෙයි.

පෙණහලු පිලිකාව මූලික අවධියේදීම හදුනා ගතහොත් සුවකිරීමට භාවිතාකලහැකි නවීන ප්‍රථිකාරක්‍රම මේ වනවිට සොයාගෙන ඇත. එනිසා පෙනහලු පිළිකාවක මූලික ලක්ෂණ පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

පෙනහලු පිලිකාව මුල් අවදියෙදී ලක්ෂණ පෙන්නුම් නොකරන තරම්ය. ක්‍රමයෙන් වර්ධනය වීමෙදී,


  • නොනවතින කැස්ස,
  • පපුවේ කැක්කුම - විශේෂයෙන්ම ගැඹුරින් හුස්ම ගැනීමේදී,
  • හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතා,
  • කහිනවිට සෙම සමඟ රුධිරය පිටවීම,
  • වෙහෙසකර බව
  • වැනි ලක්ෂණ පෙන්නුම් කල හැක.

Spiral CT




සමහරක් පෙනහලු පිලිකා මෙම පරීක්ෂණය මගින් හඳුනා ගත හැක. නමුත් එම අවස්තාව වනවිටත් පිලිකාව සුවකල නොහැකි මට්ටමට ලඟා වී තිබීමට ඇති හැකියාව ඉතා ඉහලය. කෙසේ නමුත් වයස අවුරුදු 55-80 අතර සිටින දුම් පානයට ඇබ්බැහි වූ පුද්ගලයන්ටත් දුම් පානය අතහැර වසර පහලවක් සම්පූර්ණ නොකල පුද්ගලයන්ටත් මෙම පරීක්ෂණය වසරකට වරක්වත් සිදු කර ගැනීම ඉතා වැදගත් බව The U.S. Preventive Services Task Force ආයතනය නිර්දේශකර ඇත. (https://www.uspreventiveservicestaskforce.org/Page/Document/UpdateSummaryFinal/lung-cancer-screening

සිදුකලහැකි වෙනත් පරීක්ෂණ




Chest x ray
Sputum test -ඛෙටය හෝ සෙම් පටල පරීක්ෂාව

ඉහත පරීෂණ මගින් පෙනහලු පිලිකාවක් බවට සැකකල හැකි සාධක මතූඋවහොත් මීලඟ පියවර වන්නේ biopsy එනම් පටක විශ්ලේෂණ පරීක්ෂාවක් සිදුකර ගැනීමයි. මෙහිදී වෛද්‍යවරයා විසින් සැකසහිත වර්ධනයෙන් (suspicious growth) සියුම් සාම්පලයක් ලබාගෙන අන්වීක්ෂීය පරීක්ෂණයන් සඳහා යොමු කිරීම සිදුවේ. මෙය සිදුකරනු ලබන්නේ මේ සඳහා විශේෂ පුහුණු ලැබූ වෛද්‍යවරුන් (pathologist) මගිනි. මෙම පරීක්ෂණය මගින් එම වර්ධනය පෙනහලු පිලිකාවක්ද යන්න හා එය පෙනහලු පිලිකාවක්නම්, කුමන වර්ගයේ පෙනහලු පිලිකාවක්ද යන්න නිගමනය කිරීමට පිලිවන.


පෙනහලු පිළිකාව වර්ග කිරීම



ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතී.
  1. small-cell lung cancer
  2. non-small-cell lung cancer යනු එම වර්ග දෙකයි.

මින් වඩාත් භයානක වන්නේ පළමු වර්ගයයි. එය වඩා වෙගයෙන් සිරුර පුරා පැතිර යයි. මෙම වර්ගය වඩාත් සුලභව දැකිය හැක්කේ දුම් පානය කරන්නන් අතරය. කෙසේ නමුත් වඩාත් සුලභව දැකිය හැකි පෙනහලු පිළිකා වර්ගය දෙවැනි වර්ගයයි.(non-smll-cell lung cancer). මෙම වර්ගය සිරුර තුල ව්‍යාප්තවීම වඩාත් සෙමෙන් සිදුවන අතර පෙනහලු පිළිකාවලින් 85%ක්ම මෙම වර්ගයට අයත්ය.

පිළිකාවේ අවස්ථා



පිළිකාවේ පැතිරයාම මුල් කොටගෙන එය විවිධ අවස්ථාවන්ට වෙන් කෙරේ. small-cell  පෙනහලු පිළිකා වර්ගය ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකට වෙන් කෙරේ.

සීමිත
මෙම අවස්ථාවේදී පිළිකාවේ පැතිරීම සීමිත වන අතර එය එක් පෙනහල්ලකට හා උපරිම ආසන්න වසා ගැටිති වලට පමණක් සීමා වී පවතී.

විස්තීර්ණ
මෙම අවස්ථාව වනවිට පිළිකාව පෙනහලු දෙකටම හා සිරුරේ වෙනත් අවයව වලටද පැතිරගොස් තිබිය හැක.

non-smll-cell  පෙනහලු පිළිකා වර්ගය පිළිකාවේ පැතිරයාම සිදුවී තිබෙන ආකාරය පදනම් කොටගෙන1 සිට හතර දක්වා අවස්ථා හතරකට බෙදා වෙන් කෙරේ.


මූලික අවස්ථාවෙදී සිදුකෙරෙන ප්‍රථිකාර





non-smll-cell වර්ගය එක් පෙනහල්ලකට පමනක් පැතිරගොස් ඇති අවස්ථාවකදී ශල්‍ය ප්‍රතිකාර ඉතාම ඵලදායී ලෙස භාවිතාකල හැක. මෙහිදී ශල්‍ය වෛද්‍යවරයා විසින් පිළිකාව සහිත පෙනහල්ලෙන් කොටසක් හෝ සම්පූර්ණ පෙනහල්ලම ඉවත් කිරීම සිදු කරයි. අනතුරුව රෝගියා විකිරණ චිකිත්සාව (radiotheraphy) හෝ රසචිකිත්සාව (chemotheraphy) කෙරෙහි යොමු කිරීම බොහෝවිට සිදු වේ. එහි අරමුණ යම් හෙයකින් පිළිකා සෛල ඉතිරි වී තිබේනම් ඒවාද සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. sall-cell  පෙනහලු පිලිකා වර්ගයට ශල්‍ය ප්‍රතිකාරව එතරම්ම ප්‍රතිඵලදායී නොමැත. එයට හේතුව ඒ වනවිටත් පිළිකාව බොහෝ දුරට පැතිර ගොස් තිබිය හැකි වීමයි.

පිළිකාව බොහෝ දුරට පැතිර ගොස් තිබේනම් විකිරණ චිකිත්සාව හා රසචිකිත්සාව භාවිතයෙන් සාර්ථක ලෙස රෝග ලක්ෂණ පාලනය කිරීමට හා රොගියාගේ ආයු අපේක්ෂාව වර්ධනය කිරීමට හැකියාව පවතී. small-cell පෙනහලු පිලිකා වර්ගයේදී නම් ප්‍රධානතම ප්‍රථිකාර ක්‍රමය වන්නේ රසචිකිත්සාවයි.


නව ප්‍රවනතා




ඉලක්කගත ප්‍රතිකාරක්‍රමය
මෙහිදී පිළිකා සෛලවල ගුණනය වීමේ යාන්ත්‍රණයට භාදා එල්ල කිරීම හා ඒත් සමඟම රසචිකිත්සාව භාවිතයෙන් පිළිකා සෛලවලට රුධිර සැපයුම අඩාල කිරීම සිදු කෙරේ.

ප්‍රතිශක්ති චිකිත්සාව (immunotheraphy)
මෙහිදී සිදුවන්නේ පිළිකා සෛල හා සටන් වදින සිරුරේ ප්‍රතිශක්තීකරන පද්දතිය ශක්තිමත් කිරීමයි. මෙය non-small-cell පෙනහලු පිළිකා වර්ගය මර්ධනය කිරීමට ඉතාම සාර්ථකව යොදාගත් හැක. නමුත් මෙය සෑම පෙනහලු පිළිකා රෝගියෙකුටම එකලෙස ප්‍රථිඵලදායී නැත.


දුම් පානය අතහැර දමන්න.



පෙනහලු පිළිකාවෙන් මිදී සිටීමට ගතහැකි වඩාත්ම ප්‍රථිපලදායී ක්‍රියාමාර්ගය නම් දුම් පානය අතහැර දැමීමයි. පෙනහලු පිළිකා රෝගියෙකු බවට හඳුනාගත් පසුව උවද දුම් පානය අතහැර දැමීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිපල අත්පත් කරගත හැකිබව නවීනතම වෛද්‍ය පර්යේෂණ මගින් මේ වනවිට තහවුරු කරගෙන ඇත.


අක්‍රීය දුම් පානය


දුම් පානය මෙන්ම පෙනහලු පිළිකාවලට බලපාන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ අක්‍රීය දුම් පානයයි.තමා දුම් පානය නොකලත් සහකරු හෝ සහකාරිය දුම් පානය කරන්නෙක් නම් පෙනහලු පිලිකාවක් ඇතිවීමේ අවදානම 20% කින් හෝ 30%කින් ඉහල නඟින බව මේ වනවිට තහවුරු කරගෙන ඇත. 



අවධානම් රැකියා



යුරේනියම්, ආසනික් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත රැකියාවල නිරත්වන්නන් පෙනහලු පිළිකාවලට පහසුවෙන් ගොදුරු වීමේ අවධානමක් පවතී. එසේම ඇස්බැස්ටෝස් මගින්ද පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානම ඉහල දමයි. මෙනිසාම බොහෝරටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩිලෙස සීමාකර ඇත.



වායු දූෂණය



තවමත් දුම් පානය තරම් පෙනහලු පිළිකා ඇතිකිරීමට බලනොපාන නමුත්, වායු දූෂණය මගින් පෙනහලු පිළිකා ඇතිවීම කෙරෙහි සිදුකරන බලපෑම් නොසලකා හැරිය නොහැකි මට්ටමකට ලඟා වෙමින් පවතී. රථ වාහන, කර්මාන්තශාලා සහ බලාගාර මගින් පිට කරන දුම, අක්‍රීය දුම් පානය මගින් ඇතිකරන බලපෑමට සමාන බලපෑමක්, පෙනහලු පිළිකා ඇතිවීම කෙරෙහි සිදු කරන් බව විද්වත් මතයයි.

මෙයට අමතරව පවුල් ඉතිහාසය පවුලේ එනම් යම් අයෙකුට පෙනහලු පිළිකාවක් වැලදී තිබීම හා රසායනයන් මගින් දූෂිත ජලය පානය කිරීම ද පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානම වැඩි කරන සාධක බවට හඳුනාගෙන ඇත.



පිළිකා අතර කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද වඩාත් මාරාන්තික පිළිකා වර්ගය වන්නේ පෙනහලු පිළිකාවයි. මෙයින් මිදීමට ගතහැකි ප්‍රධානතම පියවර වන්නේ දුම් පානයෙන් වැලකී සිටීමයි. මෙහිදී අක්‍රීය දුම් පානය කෙරෙහිද විශේෂ අවධානමක් යොමු කල යුතුය. යමෙක් ඔබ අසල සිට දුම් පානය කරන්නේ නම් වහාම එයට එරෙහි වන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත.

Thursday, December 28, 2017

ඔබගේ විශාරද උපාධිය (Masters degree) සඳහා තායිලන්තයෙන් සිෂ්‍යත්වයක්....

ඔබගේ විශාරද උපාධිය (Masters degree) සඳහා තායිලන්තයෙන් ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට මෙන්න අනඟි අවස්තාවක්. වැඩි විස්තර health ministry වෙබ් අඩවිය හරහා හෝ පහත ලින්කුව හරහා ලබා ගන්න.



Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...